Back to home
Alerte infoDefense

දූෂිත ජාලයෙන් යුද්ධ හමුදාවට එරෙහි මඩ ව්‍යාපාරයක්........

දූෂිත ජාලයෙන් යුද්ධ හමුදාවට එරෙහි මඩ ව්‍යාපාරයක්........

ශ්‍රී ලාංකීය දේශපාලන සහ පරිපාලන ව්‍යුහය දශක ගණනාවක් තිස්සේ වෙළාගෙන තිබූ දූෂණයේ අඳුරු සෙවනැලි ඉවත් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් වත්මන් රජය විසින් ආරම්භ කර ඇත.


මෙය හුදු දේශපාලන පොරොන්දුවක් නොව, ප්‍රායෝගික ක්‍රියාදාමයක් බවට පත්වෙමින් තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියත් සමඟ දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් කල්ලියක් දැඩි ලෙස වියරු වැටී සිටිති. තම මඩිස්සල පුරවාගත් අයුතු ධනයත්, වරප්‍රසාදත් අහිමි වන බව වැටහෙන විට ඔවුන් තෝරාගෙන ඇත්තේ අශිෂ්ට මඩ ව්‍යාපාර හරහා රාජ්‍ය යාන්ත්‍රණය අඩපණ කිරීමේ මාවතයි.



වියරු වැටුණු දූෂිතයන්ගේ මඩ මෙහෙයුම...



ඕනෑම රටක දූෂණය මුලිනුපුටා දැමීමේදී ඊට එරෙහිව පැන නගින විරෝධය ස්වභාවිකය. නමුත් වර්තමානයේ අප දකින්නේ සංවිධානාත්මක, සැලසුම් සහගත මඩ ව්‍යාපාරයකි. රජයේ දූෂණ විරෝධී සටනට නායකත්වය දෙන සහ ඊට සක්‍රියව දායක වන පුද්ගලයන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීම මෙහි මූලික අරමුණයි. එමඟින් එම නිලධාරීන් පසුබෑමකට ලක් කිරීමත්, මහජනතාව තුළ රජය කෙරෙහි පවතින විශ්වාසය පළුදු කිරීමත් ඔවුන් බලාපොරොත්තු වේ.


මෙම මඩ ප්‍රහාරයේ මෑතකාලීන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇත්තේ වත්මන් යුද්ධ හමුදාපතිවරයායි. යුද්ධ හමුදාව වැනි විනයගරුක ආයතනයක් තුළ කාලාන්තරයක් තිස්සේ පැවති දූෂිත ජාලයන් බිඳ දැමීමට ඔහු ගත් නිර්භීත තීරණ මෙම ප්‍රහාරයන්ට මුල් වී ඇත.


 "දිට්වා" සුළිකුණාටුවෙන් පසු රට ඇදවැටේවි යැයි සිහින දුටුවන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ ප්‍රමුඛ බලවේගය වුයේ යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවයි. ආපදාවට ලක්වූවන් මුදාගැනීම, ඔවුන්ට සහන සැලසීම, පසු ආපදා කළමනාකරණය ආදී කටයුතුවලදී යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිදු කළ කැපකිරීම ඉහළින්ම අගය කළ යුතුය.


ඔවුන්ගෙ ඒ කැපකීරීම්වල ප්‍රථිපලයක් ලෙස දිට්වා සුළිකුණාටුවෙන් පසුව රට යළි ක්‍රමක්‍රමයෙන් නැගී සිටින්නට විය. ඒ නැගී සිටීම දරාගන්නට නොහැකි වූ දූෂිත බලවේග ඉන්පසු දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේ කෙසේ හො රට බිඳ දැමීමේ අරමුණෙනි.



යුද්ධ හමුදා රෝහල සහ අනාවරණය වූ වංචා...



යුද්ධ හමුදාපතිවරයාට එරෙහි මඩ ව්‍යාපාරයේ ආරම්භක ලක්ෂ්‍යය වූයේ යුද්ධ හමුදා රෝහල ආශ්‍රිත සිදුවීම් මාලාවයි. හමුදා නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන් වෙන් වූ මෙම රෝහල තුළ සිදුවූ මහා පරිමාණ ඖෂධ සහ උපකරණ වංචා පිළිබඳව තොරතුරු අනාවරණය විය. විශේෂයෙන්ම, හිටපු ජනාධිපතිවරයෙකු පවා යුද්ධ හමුදා රෝහලෙන් අවිධිමත් ලෙස ඖෂධ ලබාගත් පුවත ආන්දෝලනාත්මක සිදුවීමක් විය.


හමුදාපතිවරයා විසින් මෙම දූෂිත ක්‍රියාවලියට එරෙහිව දැඩි පියවර ගැනීමත් සමඟ, එතෙක් එමඟින් ප්‍රතිලාභ ලැබූ දූෂිත නිලධාරීන් කණ්ඩායමක් ඔහුට එරෙහිව අවි අතට ගත්හ. ඔවුන් සමාජ මාධ්‍ය සහ ඇතැම් මිලදී ගත් මාධ්‍ය හරහා හමුදාපතිවරයාගේ පෞද්ගලිකත්වය පවා විවේචනය කරමින් මඩ ගැසීමට පටන් ගත්තේය. නමුත් හමුදාපතිවරයා සිය ස්ථාවරය වෙනස් කළේ නැත. ඔහු එම මඩ ව්‍යාපාර හමුවේ පසුබෑමට ලක් වූයේ නම්, අදටත් යුද හමුදා රෝහල දූෂිතයන්ගේ තිප්පොළක්ව පවතිනු නොඅනුමානය.



හමුදාව පිරිසිදු කිරීම සහ හමුදාවේ සිටි දූෂිතයින් "මරු විකල්ලෙන්" හැසිරීම...



හමුදාව පිරිසිදු කිරීමේ දෙවන පියවර වූයේ හමුදාව තුළ සිටින, ඇතැම් බලවතුන්ගේ "හුරතලුන්" ලෙස සැලකුණු දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. වසර ගණනාවක් තිස්සේ තමන් ආරක්ෂිත යැයි සිතා සිටි මෙම පිරිසට නීතිය හමුවට යාමට සිදුවීම මරු පහරක් විය. මින් පෙර තම "හාම්පුතුන්" වෙනුවෙන් සුදුහුණු ගෑ මෙම පිරිස, දැන් එම දෑතින්ම මඩ බාල්දි ගෙන හතර අතේ විසුරුවමින් සිටිති. ඔවුන්ගේ එකම අරමුණ වන්නේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ අඩපණ කිරීමයි.


මෙම දූෂිත පිරිස පසුව රටේ දූෂිත දේශපාලන බලවේග සමඟ අත්වැල් බැඳගත්හ. රජය සහ හමුදාව අතර ඇති විශ්වාසය බිඳ දැමීම තුළින් රට අස්ථාවර කළ හැකි බව ඔවුන් තේරුම් ගෙන තිබිණි. හමුදාව සහ රජය අතර විරසකයක් ඇති කිරීමට ඔවුන් ගත් උත්සාහයන් අතිශය නින්දිතය. නමුත් රජය සහ හමුදා නායකත්වය අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ ශක්තිමත් විශ්වාසය හමුවේ එම කුමන්ත්‍රණ පරාජය වෙමින් පවතී.



මඩට වැඩවලින් පිළිතුරු දීම....



දූෂණයට එරෙහි ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසාම වියරු වැටුණු පිරිස් මඩ ගහන්නට පටන් ගත්තේ වැඩකරන මිනිසුන්ට සහ වැඩ කරන්නට උණක් ඇති මිනිසුන්ටය. ඔවුන් මුලින්ම ඉලක්ක කළේ අගමැතිවරියයි. ඇයට එල්ල කළ චෝදනාවලට ඇය දශමයකිනුදු ඇද වැටුණේ නැත. ඉන්පසුව ඔවුන්ගේ ඉලක්කය වූයේ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියයි. ඇයද මඩවලට පිළිතුරු දුන්නේ වැඩවලිනි.


පසුව මේ මඩකරියන්ගේ ඉලක්ක වූයේ බිමල් රත්නායක, විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන වැනි පිරිසයි. ඔවුන්ද මඩවලට පිලිතුරු දුන්නේ වැඩවලිනි. දැන් ඉලක්කය හමුදාපතිවරයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ත්‍රිවිධ හමුදාවයි. ඔවුන්ද මඩවලට වැඩ වලින් පිළිතුරු දෙමින් සිටිති. මඩවලට වැඩවලින් උත්තර දීම වැදගත්ය. ඒ මඩගසන ඌරන්ට මඩ ගහන්නට නම් උන් සිටින මඩවලටම බැසිය යුතු නිසාය. එසේ නොවී මේ අනුගමනය කරන පියවර අගනේය.



මාධ්‍යවේදීන්ගේ වේශයෙන් පැමිණි දූෂිතයන්ගේ නිරුවත....



මෙම මඩ ව්‍යාපාරයේ තවත් භයානක පැතිකඩක් වන්නේ ඇතැම් මාධ්‍ය භාවිතයයි. දූෂිතයන්ගේ මුදලට ගිජු වූ, මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ලවා රජයේ ප්‍රධානීන් අපහසුතාවයට පත් කිරීමට ඔවුන් උත්සාහ කළහ. පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සිදුවූයේද එයමය. එහිදී මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ප්‍රශ්න කරමින් රජය සහ හමුදාව අතර ගැටුමක් පෙන්වීමට උත්සාහ කළ පුද්ගලයාට අමාත්‍යවරයා දුන් තර්කානුකූල පිළිතුරු හමුවේ ඔහු මහජනයා ඉදිරියේ නිරුවත් විය.


එය හුදු පිළිතුරක් නොව, දූෂිත බලවේගවලට එල්ල වූ ප්‍රබල කනේ පහරක් විය. මෙලෙස මාධ්‍යවේදීන්ගේ වේශයෙන් පැමිණෙන තෝල්කයින් මීට පෙරද මෙවැනි ආකාරයේ පහත් අයුරින් හැසිරෙන ආකාරය දැකගන්නට හැකිවිය. නමුත් ඔවුන්ගේ ඒ වෑයම් ඔවුන්ට ලැබුණු තාවකාලික "ස්වයං වින්දනයක්" පමණක්ම විය.



ජනතා සහයෝගය සහ ඉදිරි ගමන......



දූෂිතයන් කල්පනා කරන්නේ මඩ ප්‍රහාර හරහා රජයේ හෝ හමුදාපතිවරයාගේ ගමන නැවැත්විය හැකි බවයි. නමුත් ඔවුන් අමතක කරන ප්‍රධාන කරුණක් වන්නේ මේ රටේ බහුතර ජනතාව දූෂණයට එරෙහිව පෙළගැසී සිටින බවයි.


ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දූෂණයට එරෙහිව ගෙන යන සටනට ජනතාවගේ පූර්ණ ආශීර්වාදය හිමිව ඇත. මඩ ප්‍රහාර හමුවේ නොසැලී සිටීමට හමුදාපතිවරයාට ශක්තිය ලැබෙන්නේද මෙම පොදු ජනතා සහයෝගය සහ ඔහු අනුගමනය කරන සාධාරණ ප්‍රතිපත්තිය නිසාය.


දූෂිත නිලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ අවසාන ඉල්ලීම "දූෂණ විරෝධී වැඩපිළිවෙළ නවත්වා තමන්ට සුපුරුදු පරිදි වංචා කිරීමට ඉඩ දෙන්න" යන්නයි. නමුත් දැන් ඒ සඳහා රට තුළ ඉඩක් නැත.


රටක යුද්ධ හමුදාව යනු ජාතික ආරක්ෂාවේ කොඳු නාරටියයි. එම ආයතනය දූෂණයෙන් තොර, පිරිසිදු ආයතනයක් බවට පත් කිරීමේ මෙහෙයුම ජාතික වගකීමකි. යුද්ධ හමුදාපතිවරයා ඉලක්ක කරගනිමින් දියත් වන මඩ ව්‍යාපාරය යනු හුදු පුද්ගලික ප්‍රහාරයක් නොව, සමස්ත දූෂණ විරෝධී ක්‍රියාවලියම කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයකි.


එබැවින්, මඩ ව්‍යාපාරවලට බිය නොවී, දූෂිතයින්ගේ තරාතිරම නොබලා ඔවුන්ව නීතිය හමුවට පැමිණවීමට රජය ගන්නා උත්සාහයට සියලු දෙනා සහය දිය යුතුය. දූෂිතයන්ගේ මඩ බාල්දිවලින් රටේ අනාගතය කිලිටි කිරීමට ඉඩ නොදිය යුතුය. අවසානයේදී ජයග්‍රහණය කරන්නේ දූෂිතයන්ගේ වියරුව නොව, රටට ආදරය කරන අවංක මිනිසුන්ගේ නොසැලෙන අධිෂ්ඨානයයි.



මධුෂාන් රණසිංහ✍️