"තරු ඇඳගත් පොලිස් බබ්බු" බඳවා ගැනීමේ සැලසුමක්.....

පොලිස් දෙපාර්තමේන්තුවට උප පොලිස් පරීක්ෂක වරුන් 100 දෙනෙකු හදිසියේ බඳවා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එහෙත් එම බඳවා ගැනීම සම්බන්ධයෙන් පොලිස් සේවාවේ පහළ නිළධාරීන් තුළ යම් සංවාදයක් මතු වී තිබෙන බවට ද තොරතුරු ලැබී තිබේ.
එම තොරතුරු වලට අනුව මෙම නිළධාරීන් ඉල්ලා සිටින්නේ පොලිස් සේවාව තුළ දැනට සේවයේ නිරත උප පොලිස් පරීක්ෂක ධුරයට සුදුසුකම් සපුරා ඇති දක්ෂ නිළධාරීන්ට ඒ සඳහා අවස්ථාව දෙන ලෙසය.
පොලීසියට නවක නිළධාරීන් බඳවා ගැනීමෙන් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟය පියවා ගත හැකිය. එහෙත්
මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ පෞර්ෂය ශක්තිමත් කර ගත හැකි වන්නේ ප්‍රායෝගිකව පොලිස් සේවාවේ රාජකාරිමය අත් දැකීම් සපුරා ඇති පොලිස් සැරයන් වරුන් ඉහළට ඔසවා තැබීමෙන් මිස "තරු ඇඳගත් බබ්බු" කණ්ඩායමක් පෝලිම් ගස්සවා නොවේ.
ආධුනික උප පොලිස් පරීක්ෂක වරයකු පොලිස් සේවාවේ පූර්ණ අත් දැකීම් සපිරි නිළධාරියකු බවට පත් වීමට අඩුම වශයෙන් අවුරුදු පහකවත් සේවා කාලයක් සපුරා ලිය යුතුය. බොහෝ නවක පොලිස් නිළධාරීන් රාජකාරිය කරන්නට යන්නේ කටේ හා ඇඟේ හයියෙනි.
අත් දැකීම් බහුල නිළධාරීන් කළකිරෙයි....
එය ආධුනික නිළධාරීන් වෙතින් සාමාන්‍යයෙන් සිඳුවන කෙරුවාවක් මිස ඒ රාජකාරිය ගැන අමුතු වෙන් සිතන්නට දෙයක්ද නැත. ඔවුන් හරි හමන් ආකාරයෙන් නීතියට අනුගතව රාජකාරි කිරීමට දායක වන්නේ සේවා අත් දැකීම් තුළය.
ආධුනික උප පොලිස් පරීක්ෂක වරයෙකුට වඩා අත් දැකීම් බහුල පොලිස් සැරයන් වරයෙකු පොලිස් දෙපාර්තමේන්තුවට අගනා සම්පතකි. එහෙත් දැන් සිද්ද වීමට යන්නේ ඒ සම්පත කළකිරීමට හා කණගාටුවට පත් වන සැළසුමක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාවට නැගීමට යාමය.
අව්වේ කර කුට්ටන් වෙමින් හා වැස්සේ ඇති පදම් තෙමෙමින් මහ පොළවේ රාජකාරි කර ඇට්ටකුනා වී දනිස අනවිස හා පොලිස් ආඥා පනත ආදී සියළු නීති රීති කට පාඩමින් එක පෙළට කියන්නට පුළුවන් තරමට හදාරා ඇති පොලිස් සැරයන්වරු පොලිස් දෙපාර්තමේන්තුව තුළ අඩුවක් නැත.
අධිකරණයට ඉදිරි පත් කරන සැකකරුවකු සම්බන්ධයෙන් නීතියේ සඳහන් අදාළ වගන්තියේ අඩු පාඩු කම් නැතුව නිවැරිදි බී වාර්තාවක් ගොනු කරන්නට පුළුවන් අති දක්ෂයන්ද ඒ අතරේ වේ. ඇතැම් පොලිස් සැරයන් වරුන් අධිකරණයේ නඩු මෙහෙවීම සිදු කරන්නේ නීතිඥයන්ටත් එහා ගිය දක්ෂතාවක් පෙන්වමිනි.
"තට්ටය සහ ලබ්බ" පමණක් ඉතිරිවීම...
එහෙත් ඒ බොහෝ පොලිස් සැරයන් වරුන් සිය සේවා කාලය සපුරා විශ්‍රාම යන්නේ "තට්ටය හා ලබ්බ" පමණක් ඉතිරි කර ගෙනය. ඒ ඔවුන්ට සැරයන් තනතුරෙන් ඉහළට යන්නට වරමක් නොලැබෙන හෙයිනි. මෙහිදී අපගේ විශේෂ අවධානයට ගත යුතු කරුණක් තිබේ.
මෙවැනි දක්ෂ පොලිස් සැරයන් වරුන් ඇතැම් පොලිස් ඡ්‍යෙෂ්ඨයන්ට වහ කදුරුය. ඒ මන්ද යත් මේ සැරයන් වරුන් ගේ රාජකාරිය පොතේ නීතියට මිස ඉන් එහා ලාබ ප්‍රයෝජන සඳහා නොවන බැවිනි. ඉහළ ඡ්‍යෙෂ්ඨයන් ගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කිරිමට මේ පොලිස් සැරයන් වරුන් සූදානම් නැත.
කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුව
ඉහළට ඔසවා ලීම සඳහා පොලීසියට උප පොලිස් පරීක්ෂකයන් බඳවා ගැනීමෙන් පමණක් පොලීසියේ සියළු ප්‍රශ්ණ නිරාකරණය නොවෙන බව ආණ්ඩුව වටහා ගත යුතුය. වර්තමානයේ පොලීසියේ ක්‍රියා කාරිත්වය බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් ලෙස දැකිය හැක්කේ පහල නිළධාරියා හුදෙක්ම ඉහළ නිළධාරියාගේ නියෝග පිළිපැදීමට බැඳී සිටිය යුතු වීම නිසා බව පැහැදිලිය.
සේවය අත් හැර යෑමේ නැඹුරුවක්.....
ඉහළින් ලැබෙන නියෝගය හොඳ නරක කුමක් වුවත් එය ඉටු කිරීමට පහළ නිළධාරියා බැඳී සිටිය යුතුය යන ආකල්පයක් පොලිස් සේවාව තුළ ගොඩ නැගී අතර එය එසේ නොකරන්නේ නම් සේවය අත් හැර යාමට තරමේ වටපිටාවක් නිර්මාණය වීම දකින්නට පවතී.
පහල ඇවරියේ පොලිස් නිළධාරීන් මේ වන විට රාජකාරියේ නිරතව සිටින්නේ දැඩි ආතතියකින් බව අනාවරණය වී තිබේ. මේ නිසාම බොහෝ දක්ෂ පොලිස් සැරයන් වරුන් හා උප පොලිස් පරීක්ෂක වරුන් විශ්‍රාම යාමට නියමිත කාලය එළඹීමට පෙර විශ්‍රාම යාම සඳහා ඉල්ලීම් කරමින් සිටින බවටද වාර්තා වේ.
ඇතැම් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගේ බල ප්‍රදේශයන් තුළ මේ වන විට මෙසේ විශ්‍රාම යාම සඳහා ඉල්ලා ඇති පහල පොලිස් නිළධාරීන්ගේ සංඛ්‍යාව ගණනය කළ හොත් එය පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිස් බලය සෑහෙන මට්ටමකින් අඩුවිය හැකි බවට පෙනෙන්නට තිබේ.
ජාජබ ආණ්ඩුව බලයට පත් වීමට පෙර පොලීසිය සම්බන්ධයෙන් පුරවැසියන්ගේ චෝදනාව වූයේ එය දේශපාලනීකරණයට
ලක් වී ඇති බවය. වරප්‍රසාද ලත් ඉහළ පන්තිය පොලීසියේ අණසකට යටත් නොවීමේ වටපිටාවක් ඒ දිනවල පැවතුණි.
වත්මන් පාලනය යටතේ දූෂිතයන් සතුටින්..
ජාජබ බලයට පත් වීමත් සමගම පොලීසිය දේශපාලන ආධිපත්‍යයෙන් මුදා හැර ඇතත් එය හරියටම විශාල ගං වතුරක බාධකයක් එකවර ඉවත් කිරීමට සමානය. ඉන් සිදු වූයේ ජාජබය බලයට පත් වීමට පෙර පොලිස් පරිපාලනයේ සිටි දූෂිතයන්ට වෙනදාටත් වඩා නිදහසේ සිය දූෂිත පැවැත්ම තහවුරු කර ගත හැකි වීමය.
තමන් හොඳින් හෝ නරකින් හැසිරවීමට ජාජබ ආණ්ඩුව මැදිහත් නොවන බව දැන් මේ දූෂිතයන් දනී. ඒ අතරේ ජාජබ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණකාරීව පොලිස් සේවාව මහජන අප්‍රසාදයට ලක් කිරීමට මේ ඇතමුන් ක්‍රියා කරමින් සිටින බවටද චෝදනා එල්ල වේ.
නීතිඥ බැසිල් ප්‍රනාන්දු තම "කාර්යක්ෂමතාවය ප්‍රඥා ගෝචර භාවය සහ ලංකාවේ නීති ක්‍රමය" නමින් රචනා කරන ලද කෘතියේ මේ තත්වය ඉතා අපූරුවට පැහැදිලි කර දී තිබේ.
"..පාලනයෙන් තොරව තමන්ගේ ක්‍රියාවන් කිරීමට පටන් ගත් නිළධාරීන් නැවත එම පාලනයට ගැනීම එතරම් ලේසි කාර්යයක් නොවේ. ලේ රස විඳින්නට ඉඩ කඩ අහුරා, ඇති දැඩි කළ බල්ලකු යම් විධියකින් ලෙයෙහි රස වින්දහොත් එම සතාගේ හැසිරීම නැවත මුලින් පැවති තත්වයට ගෙන ආ නොහැකිය.."
දේශපාලන මාෆියාව වෙනුවට පොලිස් මාෆියාව...
මින් අවධාරණය කෙරෙන්නේ නිලය බලය තුළින් වරප්‍රසාද අනීතිකව භුක්ති විඳින ලද නිවැරිදි කිරීම ලේසි පහසු නැති බවය. ජාජබ ආණ්ඩුව පොලීසිය හැසිරවීම අත් හැරීම දූෂිත පොලිස් ඡ්‍යෙෂ්ඨයන්ට මාර ආස්වාදයක් ගෙන දෙන්නක් වී තිබේ.
ඒ ආස්වාදය ගැන කියවෙන අපූරු නිදසුනක් අප වෙත කියවන්නට ලැබුණි. දකුණු පලාත් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වට්ස්ඇප් සමූහයකට මැසේජයක් දමා ඇති දකුණේ ඡ්‍යෙෂ්ඨ පොලිස්පති කිත්සිරි ජයලත් සඳහන් කර ඇත්තේ "ඒ දිනවල රට තුළ පැවතියේ දේශපාලන මාෆියාව බවත් දැන් ඇත්තේ අපේ පොලිස් මාෆියාව" බවත්ය.
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ පැටිකිරිය ගැන දන්නා අයවළුන්ට නම් ඔහු සඳහන් කර ඇති මේ "පොලිස් මාෆියාව" පුරවැසියන් ගේ ශරීරයේ මයිල් ස්මයිල් කරන තරමේ විය හැකි බව සිතා ගත හැකිය. සැබැවින්ම ඒ "කරුම කෙරුවාව" ගැන ප්‍රායෝගිකව වටහා ගන්නට නම් දකුණු පලාතේ පොලීසියක පහල මට්ටමේ නිළධාරියෙකු ගෙන් ඒ ගැන විමසිය යුතුය.
දකුණේ පිස්සු කෙලින පොලිස් ලොක්කෝ..
දකුණේ පොලිස් කාරයන් දැන් රාජකාරි කරන්නේ දැඩි මානසික ආතතියකිනි. ජාතික හැඳුනුම්පත් නැතුව මහ මග යන පුරවැසියන් සැක පිට අත් අඩංගුවට ගැනීමේ සිට හෙරොයින් ලග තබා ගෙන සිටියේ යැයි බොරු නඩු පැටලවීමට තරම් පොලීසිය සාහසික වී ඇත්තේ ඒ මානසික ආතතියෙන් ගොඩ යාමටය.
අලුත් අවුරුද්දේ නැකතට වැඩ ඇල්ලීම සඳහා මට්ටම් ලීයත් මේසන් හැන්දත් අරගෙන පාරේ ගමන් කළ මේසන් බාස් වරයෙකු පවා හැඳුනුමිපත සන්තකයේ නොමැති බවට චෝදනා කරමින් සැක පිට අත් අඩංගුවට ගෙන පොලිස් කූඩුවට දැමූ බව වාර්තා වූයේ බද්දේගම පැත්තෙනි. දැන් දකුණේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ මාෆියාව ක්‍රියාත්මක වන්නේ ඒ විදියටය.
පසුගියදා ස්ථාන මාරුවීමක් ලද ගාල්ල දිසාවෙි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සේරම් ගේ සමු ගැනීමේ සාදය පවත්වන ලද්දේ පෝද්දල හෝටලයකය. එම සාදය සඳහා ගාල්ල දිසාවේ සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුම රුපියල් දහදාහක් හා ඊට අමතරව රුපියල් දෙදාහක වටිනාමකින් යුතු බයිටයක්ද මිල අධික අරක්කු බෝතලයක්ද සැපයීම කළ යුතු විය. ඒ මුදල් ප්‍රතිපාදන සොයා දීමත් අඩුම කුඩුම සපයා දීමත් පොලිස් ස්ථානාධිපති වරයා පවරන්නේ සිය පොලිස් ස්ථානයේ පහල නිළධාරින්ටය.
රාජ්‍ය සේවය අල්ලසෙන් මුදා ගැනීමේ විහිළුව ...
මෙවැනි අවස්ථාවක වැඩි වගකීම පැවරෙන්නේ පොලීසියේ රථ වාහන අංශයටය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා උදේ හවස පිරිත් දේශනා කරන ආකාරයෙන් රාජ්‍ය සේවය අල්ලස හා දූෂණයෙන් මුදා ගැනීමට වෙර වෑයම් කරද්දී පොලීසියේ ලොක්කන් ගේ ජොලි කිරීම එහෙමය.
රටේ ජනපතිවරයා අඩු වියදමින් ජීවත්වීමේ ආදර්ශයක් සපයන වට පිටාවක පොලිස් ලොක්කන් මෙලෙස පුරවැසියන් ගේ මුදලින් පාටි දැමීම "තුක් නොදකින්" කෙරුවාවකි. එහෙත් දේශපාලන පාලනයෙන් මිදී ආතල් ගන්නා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට නම් ඒවා ටොයිස් වැඩය. කෙසේ වෙතත් ඕඅයිසීලා මේ රුපියල් දහ දාහ හා අනෙකුත් සැපයීම් සපයා ගත්තේ සිය පොලිස් ප්‍රදේශවල කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන් ගෙනි. රථවාහන වැරදි කර පුරවැසියන්ට දඩයකින් නිදහස්ව එම සාදයට සම්මාදම් වීමේ පිනද පෑදී තිබුණි.
සාධාරණ වැටුපක් නැති වීම,ඉහළ නිළධාරීන්ගේ ආධිපත්‍යය රැකියා ආතතිය, උසස්වීම් නොමැතිවීම, මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටළු, අධික රාජකාරී පැය ගණන හා සුබ සාධන හා අනෙකුත් පහසුකම් අවමවීම ආදියෙන් මේ වන විට පොලීසියේ පහල නිළධාරීන් විඳවමින් සිටී.
ආණ්ඩුව ගොනාට අන්ඳන පොලිස් නාඩගම...
පොලිස් ඡ්‍යෙෂ්ඨයන් දැන් රඟ පාමින් සිටින්නේ පොලීසියේ පොඩි වුන් පීඩනයට ලක් කරමින් ආණ්ඩුව ගොනාට ඇන්දීමේ මෙහෙයුම් "දත්ත" නාඩගමකය. එහිදී බිල්ලට ගනිමින් සිටින්නේ අහිංසක පුරවැසියන්ය. පොලිස් ආඥාදායකත්වය තුළ අසරණව සිටින පොලිස් පොඩ්ඩන් හා පුරවැසියන්ට තමන් මුහුණ පා සිටින අසාධාරණය පිළිබඳව පැමිණිලි කරන්නට සමීප දේශපාලන බල අධිකාරියක් නැත.
නෙළුම් මලෙන් උපන් ජාජබයේ දේශපාලන කෙරුම්කාරයන් ඒ දුක් ගැනවිලි අසන්නට සූදානම්ද නැත. මීට පෙර ආන්ඩුවලදී පොලිස් ලොක්කන් සිදු කරන බලහත්කාර කම් වලට එරෙහිව දේශපාලන බල අධිකාරියට පැමිණිලි කරන්නට පොලිස් පොඩ්ඩන්ට හා පුරවැසියන්ට අවස්ථාව තිබුණි. එහි හරි වැරැද්ද කෙසේ වෙතත් ප්‍රදේශයේ දේශපාලන බල අධිකාරියට සිය ප්‍රදේශයේ පොලිස් ලොක්කාගෙන් "මොකද්ද ඕයි තමුසෙ මේ කරන්නේ" යැයි අසන්නට තරමේ හයියක් තිබුණි. දැන් සිද්ධ වී ඇත්තේ ජාජබයේ දේශපාලන කෙරුම්කාරයන් "පොලිස් බල්ලන්" වත් ගණන් නොගන්නා තරමට බාල්දු වීමය.
මේ වටපිටාව තුළ පොලීසියේ පොඩ්ඩන් ඉන්නේ ආණ්ඩුව කෙරෙහි බරපතල කළකිරීමකිනි. එම කළකිරීම කොතෙක් දුර විහිද ගොස් ඇත්තේද කියතොත් ඒ තුළ නිර්මාණය වී ඇති පොලිස් ආඥාදායකත්වයෙන් පීඩා විඳින පුරවැසියන් පවා තමන් විසින් බලයට පත් කර ගන්නා ලද මාලිමා ආණ්ඩුව පොලීසියේ සාහසික කෙරුවාව පිළිබඳව දක්වන නොසැළකිල්ල පිළිබඳව සිටින්නේ දැඩි නොසතුටකිනි.
අයාලේ යන පොලිස් දෙපාර්තමේන්තුව....
පිනට අත් හරින ලද ගොන් වස්සන් මෙන් පොලිස් දෙපාර්තමේන්තුව මෙසේ අයාලේ යද්දී ආධුනික උප පොලිස් පරීක්ෂක වරුන් කණ්ඩායමක් බඳවා ගන්නට යන්නේ දීර්ඝ කාලයක් පොලිස් සේවාවේ පෞර්ෂය ආරක්ෂා කර ගනිමින් දිවා රෑ නොබලා රාජකාරි කළ පොලිස් සැරයන් වරුන් කුණු කුඩයට විසි කර දමමිනි. දූෂිත පොලිස් ඡ්‍යෙෂ්ඨයන්ට රාජකාරිමය අත්දැකීම් ඇති පොලිස් සැරයන් වරුන් තමන්ගේ රූකඩ කර ගැනීමට අපහසු වීම ඇතැම් විට මේ නව බඳවා ගැනීම් වලට හේතුව වන්නටද ඉඩ තිබේ.
අසූව දශකයේ මුල් භාගයේ වැල්ලවාය පොලීසියේ සේවය කළ පොලිස් සැරයන් 165 බණ්ඩා සිදු කරන ලද රාජකාරියක් ගැන මා ඇසූ මේ කතාව පොලිස් සැරයන් වරයෙකුගේ දක්ෂතාව අනාවරණය කරන්නකි.
ඒ දිනවල මගී ප්‍රවාහනය සඳහා යොදා ගත්තේ බට්ටා නමින් හැඳින්වූ පොඩි වෑන් රථය. මගී ප්‍රවාහනයේ යෙදෙන මෙවැනි වෑන් රථයකින් ගෙන යාමට අවසර තිබුණේ මගීන් 14 දෙනෙක් පමණකි. එහෙත් ඒ නීතිය බොහෝ අවස්ථාවලදී කඩ වෙමින් තිබුණේ ඒ ප්‍රදේශවල පැවැති ගමනා ගමන දුෂ්කරතා නිසාය. එහෙත් ඇතැම් අවස්ථාවලදී නියමිත මගීන් ගේ සංඛ්‍යාවට වඩා මගීන් ගෙන යාම සම්බන්ධයෙන් රියදුරන්ට එරෙහිව නඩු පැවරීම්ද සිඳුවිය.
දූෂිත ලොක්කන්ට වඩා අත්දැකීම් ඇති පොලිස් පොඩ්ඩෝ. . .
පොලිස් සැරයන් බණ්ඩා විසින් ද එක් අවස්ථාවක එලෙස මගී ප්‍රවාහනයේ යෙදුන වෑන් රථයක රියදුරට එරෙහිව නඩු පවරන ලදී. නඩුව විභාගයට ගත් අවස්ථාවෙි රියදුරු චෝදනාවට නිවැරිදිකරු කීමත් සමග ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා නියමිත මගී සංඛ්‍යාව වෑන් රථයෙන් ප්‍රවාහනය කළ බවත් එහි හිටගෙන සිටියේ බාල වයස්කාර දරුවන් කිහිප දෙනෙක් බවය.
සැරයන් බණ්ඩා නීතිඥ වරයාගේ කරුණු දැක්වීමට එරෙහිව අධිකරණයට ප්‍රකාශ කෙරුවේ එම වාහනයේ සිටියේ වැඩිහිටියන් බවය. එහිදී නීතිඥවරයා ප්‍රශ්ණ කරන ලද්දේ තමුන් එහි සිටි අයගේ වයස ගැන දන්නේද යන්නය. "ඔව් ස්වාමීනි මට යම් තැනැත්තකු දෙස බැලීමෙන් ඔහුගේ වයස ගැන තීරණය කරන්න පුළුවන්" සැරයන් බණ්ඩා ගේ පිළිතුර විය. "එසේනම් මගේ වයස කියන්න පුළුවන්ද?" යැයි නීතිඥවරයා සැරයන් බණ්ඩාගෙන් විමසුවේ තම "පෙරකදොරු ගැටයට" සැරයන් වරයා අසු වූ බවට සතුටින් සිතමිනි.
තමන් සිටි ස්ථානයෙන් නීතිඥවරයා සිටි ස්ථානයට ඇවිද ආ සැරයන් බණ්ඩා නීතිඥවරයා ගේ දෙපා සිට ඉහ දක්වා හොඳට බලා විනිසුරු දෙස බලා මෙසේ පැවසීය "ස්වාමීනි මේ නීතිඥ මහත්තය අවුරුදු 12 ට වැඩි බව මට සහතික ලෙසම කියන්නට පුළුවන්."
මුළු අධිකරණයම හිනස්සමින් සැරයන් බණ්ඩා සිදු කළ ප්‍රකාශයෙන් පසුව රියදුරු වැරදි කාරයා බවට තීන්දු කරන්නට විනිසුරුවරයා යලි සිත සිතා සිටියේද නැත.
සැබැවින්ම පොලීසියේ දීර්ඝ කාලීන සේවා අත්දැකීම් ඇති පොලිස් සැරයන් වරුන්ගේ වැඩ එහෙමය. පොලීසිය ශක්තිමත්ව ගොඩ නැගීමට ජාජබ ආණ්ඩුවේ මහජන ආරක්ෂාව ඇමති ඩබල තුළ අදහසක් තිබේ නම් "සැරයන් බණ්ඩලාටද" උප පොලිස් පරීක්ෂක වරුන් වීමේ අවස්ථාව සළසා දිය යුතුය.
ඉන්දික ද සිල්වා ✍️