ඉන්ධන සහනාධාරයට වෙන් කළ රු. බි. 57 ජූනි මාසයෙන් අවසන්....

ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 57ක මුදල මෙම ජූනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් තවදුරටත් මෙම පාඩුව දරාගැනීම දුෂ්කර වී ඇතැයි ද, මීට පෙර මසකට ඩොලර් මිලියන 100-120ක් පමණ වූ ඉන්ධන පිරිවැය පසුගිය මාසයේදී ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ යාම ආර්ථිකයට සහ ඩොලර් සංචිතයට දරාගත නොහැකි බලපෑමක් එල්ල කර ඇතැයි ද ඔහු පවසයි.
ඉන්ධන මිල සංශෝධනය කළද, තවමත් සෑම ඉන්ධන ලීටරයකින්ම රජයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල පාඩුවක් විඳීමට සිදුව ඇති බැවින් ජනතාව උපරිමයෙන් ඉන්ධන පරිභෝජනය සීමා කළ යුතු බව සංස්ථාවේ සභාපතිවරයා තව දුරටත් කියා සිටී.
මේ වන විට ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 536ක් වුවද එය අලෙවි කරන්නේ රුපියල් 407කට බව පවසන සභාපතිවරයා, මේ සඳහා රජය රුපියල් 100ක මුදලක් දරන අතර, ඉන් පසුවද රජයට රුපියල් 29ක පාඩුවක් සිදුවන බව සඳහන් කරයි.
එසේම පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 494ක් වුවද එය රුපියල් 434කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකින් රුපියල් 60ක පාඩුවක් සිදුවන බවද ඔහු අනාවරණය කළේය.