Back to home
Breaking newsPolitical

ආඩම්බරකාර කොම්රේඩ්ස්ලා වෙත... "ආතල් නැති" වෙලාවක මේකත් කියවන්න....

ආඩම්බරකාර කොම්රේඩ්ස්ලා වෙත... "ආතල් නැති" වෙලාවක මේකත් කියවන්න....

ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම සඳහා සිහින මැවූ අය බොහෝය. ඒ පිරිස අතරේ, විවිධ දේශපාලන අදහස් නියෝජනය කළ අය සිටි බව අපට අමතක කරන්නට නොහැකිය.


මෙරට දේශපාලනයේ දෘශ්‍යමානයේ පැවැති තට්⁣ටු මාරු බල හුවමාරුවකට එහා පුරවැසියන්ගේ සිත් හැදීම බරපතල හා වෙහෙසකර අභ්‍යාසයක් විය. එහිදී ජනතා විමුක්ති පෙරමුණ න්‍යෂ්ඨිය කරගනිමින් ජාජබ ය ලෙස රූපාන්තරණය වූ දේශපාලන සමූහයේ සංවිධානගත වීම පුරවැසියන්ට නව ප්‍රවේශයකට නැඹුරු වන්නට ඉඩ හසර සළසා දුන්නේය.


කඩප්පුලි දේශපාලඥයන්ගේ දූෂිත කෙරුවාවල් නිසා කඩා බිඳ වැටුනු ආර්ථිකයෙන් හෙම්බත්ව සිටි මෙරට පුරවැසි සමාජයේ දැනුම්වත් මිනිස් තීරු, පාරම්පරිකව මෙහෙයවන ලද එසේත් නැතිනම් ලාභ වාසි තුළ බැඳුනු දේශපාලන සංවිධානගත වීම් අත් හැර, ජාජබ ය වෙත ආකර්ශනය වූයේ නව අපේක්ෂාවන් සහිතවය. 


ජ. වි. පෙ. ගැන තිබූ සැක පහවූ හැටි...


එහිදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන මෙරට පැවැති සැක සංකාවන් පුරවැසියන් අමතක කර දමන ලද්දේ ජාජබ ය වටා සිටි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පිළිබඳව පැවැති විශ්වාසය නිසාය. 


අනුර කුමාර දිසානායක මෙරට ජනපති ධුරයට පත් වන්නේ ඒ විශ්වාසය ඇපයට තබමිනි. ඒ විශ්වාසයද ජාජබ ය ට අහම්බයකි. ඒ මන්ද යත් තමන් සැළසුම් කර ගෙන සිටි බලයට වඩා බලයක් පුරවැසියන් විසින් ජාජබ ය වෙත ලබා දීමය. සැබැවින්ම නොසිතූ ආකාරයට තමන්ට පැවරුණ ⁣ඒ දේශපාලන බලය සම්මුඛයේ ජාජබයේ නායකයන් අන්දුන් කුන්දුන් වූ බව ද නිසැක ය.


ජාජබ ය බලයට පත් වන විට මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ පරිපාලනයේ සිටි දූෂිතයන් බොහෝ දෙනෙකු සිටියේ තක්බීරි වෙලාය. එහිදී හමුදා හා පොලීසියේ සේවය කළ එවැන්නන්ද තිගැස්මකට ලක් වී සිටි බව දැනෙන්⁣නට තිබුණි. එහෙත් අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගේ අදහස වූයේ ඒ සෑම දූෂිතයකුම තමන් ගේ පාලනය යටතේ බෝධිසත්වවරුන් බවට  පත් වෙනු ඇති බවය. 


ඇට්ටකුණා වූ රාජ්‍ය යාන්ත්‍රණයට ඇඹරුණු කොම්රේඩ්ස්ලා....


ඇට්ටකුණා වී තිබුණ රාජ්‍ය යාන්ත්‍රණය හසුරවා ගැනීමට ජාජබයේ ලීඩර්ස්ලා හා ජවිපෙ කොම්රේඩ්ස්ලා සතුව සැළසුමක්ද නොවීය. ජාජබ ය තුළ ක්‍රියාකාරීව සිටි ජවිපෙ නායකයන් සිතුවේ සිය දේශපාලන පෞරෂය තුළ රාජ්‍ය යාන්ත්‍රණය ඉන්ද්‍රජාලිකව එහෙයියන් බවට පත් වෙනු ඇති බවය.


එහෙත් මේ වන විට රාජ්‍ය යාන්ත්‍රණය තම රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුරූපීව හසුරවා ගැනීමට ජාජබය අසමත් වී තිබේ. රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ  බොහෝ නිළධාරීන් සිය අමාත්‍යංශ බාර ඇමතිවරුන් පිළිබඳව සිතන්නේ විහිළුකාරයන් විදියටය. 


දැන් තත්ත්වය එතරම් බැරෑරුම්ය. එහෙත් බල ආධිපත්‍යයේ උද්දාමයෙන් උද්ච්චව සිටින ජාජබයේ කොම්රේ⁣ඩ්ස්ලා ට ඒ ගැන දැනුමක් හෝ අවබෝධයක් නැත. ජාජබයේ බොහෝ ඇත්තන් කට ඇරියොත් කරන්නේ ඇරියස් නැතුවම හාන එකය. වාචාල කමට කියවීම තුළින් තම දේශපාලන බලය තහවුරු වේ යැයි කොම්රේඩ්ස්ලා සිතන්නේ නම්, අපට ඒ ගැන ලියන්නට ඇත්තේ "සොරි ඩොට් කොම්" කියා පමණය.


මේ ගෙවී යන්නේ සංක්‍රාන්ති සමයයි...


ජාජබ ය මේ ගෙවා දමන්නේ සංක්‍රාන්තික සමයකි. ජාජබය වන්දනා කරමින් සිටින පාක්ෂිකත්වය ගණන් හදාගෙන සිටින්නේ ජනපති අනුර දිසානායක බලයේ සිටින තුරු ආණ්ඩුව බිඳ දැමීමට නොහැකි බවය. එහෙත් දැන් දැන් ඒ ගණන් හැදීමද එතරම් ගුණ දායක නොවන බවට පෙර නිමිති පහළ වෙමින් තිබේ. 


මෙහිදී ආණ්ඩුවට ඇත්තේ එකම එක තුරුම්පු වාසියකි. ඒ, මෙරට දූෂිත දේශපාලනය තුළ විකල්පයක් ලෙස විශ්වාසවන්තව තෝරා ගැනීමට වෙනත් දේශපාලන  නායකයෙක් නොමැති කමය. මේ "නොමැතිකම" තව තත්පර ගණනකින් වෙනස් ⁣වෙන්නට ද බැරි නැත.


මේ වන විටත් ⁣ඉදිරි ජනපතිවරණයට තරග කරන්නන් ⁣මාධ්‍ය තුළ වෙන්දේසි වෙමින් තිබේ. දැනට ඒ වෙන්දේසිය තුළ ලන්සු තබන්නන් බොහෝ දෙනෙකු ⁣මෙරට දේශපාලනයේ සිල් බිඳ ගත් වුන්ය. නුමුත් ඒ සෑම අයෙකුගේම මානසික යටි පෙළ කියවීම තුළ සටහන්ව ඇත්තේ තමන්ගේ කේන්දරයේ සඳහන්ව පවතින "රජකම" ලැබෙන බවට වූ ඵලාපල අනාවැකියයි. 


මීළඟ රජකමට කෙල හලන ලැස්තුව...


නාමල් රාජපක්ෂ මස් මාළු තබා උම්බලකඩවත් නොකන්නේ රජකම ලබා ගැනීමට වූ කේන්දර අනාවැකිය නිසාය. විමල් වීරවංශ ජවිපේ හැර යන්නේ කේන්දරය පිළිබඳව විශ්වාසය තබාය. පාඨලී චම්පික රණවකද, ධම්මික පෙරේරාද එහෙම ම ය. ඒ අතරේ විශ්‍රාමික මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ලැයිස්තුවට එක් වී සිටී. ඔහු තවමත් ඒ සඳහා හොරා පොලිස් සෙල්ලමේ ය.


විශ්‍රාමික මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

මෙරට ජනපති ධුරයට කෙල හලන්නේ හමුදාපති ධුරයේ සිටි කාලයේ සිටය. ඒ දින වල ඔහු සමීපයේ සිට ගුරුකම් කළ මානසික ආබාධිත කපුවෙකු ශවේන්ද්‍ර සිල්වාව, ගානට "මී හරකෙක්" ලෙස දැක්කුවේය. ඔහු කෑවේද බීවේද පැඩ්ඩේද ඒ කපුවාගේ උපදෙස්වලටය. ඔහුට හමුදාපතිකම අහිමි වූයේද මේ නිසාමය. ඒ සැබෑ කතාව දන්නේ රාජපක්ෂවරුන් පමණය. 


පිස්සු කපුවා සහ රජාට අඳින ශවෙින්ද්‍ර... 


ඒ  දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක් වී සිටියේ සාස්තර ඥාණා ය. ශවෙින්ද්‍ර සිල්වා සාස්තර ඥාණාගේ දේවාලයට ගිය ද ඔහු විශ්වාසය තබා සිටියේ තමන් සමීපයේ සිටි කපුවා ගැනය. හමුදාපතිවරයාව සිටියදී රටේ නායකත්වය ලබා ගැනීම සඳහා සෑම මාසයකම කෙම්මුර දිනයේදී මේ ගුරුකම් කපුවා සමග සීනිගම දේවාලයේ පූජා තැබීම ශවේන්ද්‍ර සිල්වාගේ සිරිතක් විය. 


මේ කෙරුවාව ගැන ජාතික බුද්ධි සේවය මගින් ඉහළට වාර්තා කෙරිණි. රාජපක්ෂවරුන් ද කට්ටඬි ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසයෙන් පසුවූවන් බැවින්, ⁣තමන් වෙත ලැබුණ මේ තොරතුරෙන් දැඩි ලෙස බියට පත් වූහ. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති තනතුරෙන් ඉවත් කරන ලද්දේ මේ නිසාය. 


කෙසේ වෙතත් ගෝඨාභය දැඩි දේශපාලනික අර්බුදය⁣ට ලක් වීමත් සමගම ශවේන්ද්‍ර සිල්වා ගේ කල්පනාව වූයේ තමන්ට රජ කිරුළ හිමි වීමට ඔන්න මෙන්න කියාය. ශවේන්ද්‍ර සිල්වා සමීපයේ සි⁣ටි කපුවා ඔහු ඒ තරමට "මී හරකාට" අන්දා තිබුණේය. ජාතික ඇඳුම හැඳ සිය  පෞරෂය සමාජයට තහවුරු  කිරීමට මෙන් ශවේන්ද්‍ර සිල්වා මල්වතු අස්ගිරි නා හිමි වරුන් හමුවීමටද ගියේය. ඒවා නිකම්ම නිකම් කෙරුවාවන් නොවේය. ඒ ඡායාරූප මාධ්‍ය තුළ පළ කර වූයේද සැළසුමකට අනුව ය. 


ජනපති ගෝඨාභයට එරෙහිව සමාජය තුළ අර්බුදයක් නිර්මාණය වෙමින් තිබූ වට පිටාවේදී තමන්ට ආරක්ෂාවට හමුදාව යොදවන ලෙසට ඔහු ශවේන්ද්‍ර සිල්වා ගෙන් ඉල්ලූ බව ප්‍රචලිත කරුණකි. එහෙත් ශවේන්ද්‍ර සිල්වා ඒ ඉල්ලීම මග හැරියේ ය. ඒ මග හැරීමේ ඇත්ත කතාව වූයේ ශවේන්ද්‍ර සිල්වා ඒ වනවිට හිටියේ තමන්ට ජනපතිවීමේ අවස්ථාව සීනිගම දෙවියන් විසින් ලබා දී ඇතැයි යන විශ්වාසය නිසා ය.


නිර්මාණය විය හැකි දේශපාලන වටපිටාව.....


අප මේ තොරතුරු ලියන ලද්දේ ජාජබය⁣ට දැනට සිටින ප්‍රතිමල්ලව පාර්ශවයේ සැබෑව අනාවරණය කිරීමටය. අපගේ මෙි එකතුවට ගණන් නොගත් පිරිසක්ද සිටී.

කෙසේ වෙතත් මේ උන්දැලාගේ කේන්දර වල රාජයෝග තිබුණද, නැතිද යන්න මේ රටේ පුරවැසියන් අදාාල කර ගන්නේ නැති වන්නටද පුළුවන. ඒ එළඹෙන හා නිර්මාණය විය හැකි ක්ෂණික දේශපාලන වටපිටාව තුළය.


මේ වන විටත් ජාජබය සිය සමීපතමයන් අහිමි කර ගනිමින් සිටින්නේ විදුලි දුම්රියක වේගයෙනි. තමන්ගේ සතුරා කවුද මිතුරා කවුද හදුනාගත නොහැකි තරමට ජාජබයේ ඉහළ පෙලේ නිළමක්කාරයන් බරපතල අවුලක පැටලී සිටිති. 


පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීම...


ජනපතිවරයාද හිතුවක්කාර තීන්දු තීරණ වලට එළඹෙමින් සිටින බවට සැකයක් නිර්මාණය වෙමින් තිබේ. එහි ආසන්නම සිද්ධිය වන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ "පච්ච පීචං" විනිසුරුවරයකු ලෙස ප්‍රසිද්ධව සිටි මොහොමඩ් ලෆාර්  ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කිරීමය. 


මේ දූෂිත විනිසුරුවරයාට ජාජබ ආණ්ඩුව ලව් කරන්නට ගත්තේ අද ඊයේ සිට නොවෙි.

ඔහු ⁣අධිකරණ සේවයේ නිරතව සිටියදී ජනපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරිමට ගත් උත්සාහය වැලකී ගියේ හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ඔහුට එරෙහිව වංචා දූෂණ ගැන ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාව නිසාය. මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරුවරිය විශ්‍රාම ගැනීමෙන් පසුව, ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු පදවිය දරමින් සිටිද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක යළිත් වරක් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යෝජනා කළේ විශ්‍රාම යාමට නියමිතව සිටි ගාමිණි අමරසේකර විනිසුරුවරයාගෙන් අනාගතයේදී ඇතිවන පුරප්පාඩුව වෙනුවෙන්ය.


එහෙත් එහිදීද  ව්‍යවස්ථා සභාව විසින් ජනපතිවරයාගේ  යෝජනාව ප්‍රතික්ෂේප කෙරිණි. මේ සිඳුවීම් නිසා තමන්ගේ අභිමානය බාල්දු වූ බවක් ජනපතිවරයාට සිතුනේදැයි අපි නොදනිමු. එහෙත් ඒවා එසේ වූවා නම් ජාජබය සමාජය වෙත දුන් පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන්නේය. 


එහෙත් බැරිම තැන ජනපතිවරයා විශ්‍රාමික ලෆාර් විනිසුරුතුමා රාජ්‍යතාන්ත්‍රික පදවියකට පත්කර තිබේ. මේ සිද්ධ වන්නේ ජාජබ ආණ්ඩුවේ "මරු" කියවීම වන්නට බැරි නැත. රටේ අගවිනිසුරුවරයා විසින්ද  දූෂිතයකු බවට ඔප්පු තිරප්පු සහතික කර ලියා තහවුරු කර ඇති විශ්‍රාමික විනිසුරුවරයෙකුට ජනපතිවරයා මෙතරම් "ලව්" කරන්නේ මක් නිසාද යන්න පැහැදිලි නැත. මේ විශ්‍රාමික විනිසුරුගේ දූෂිත බවට වඩා සිය ⁣මිතුරුකම් ඉහළ බව ජනපතිවරයා කැත නැතුව පෙන්වා දී තිබේ. එහෙත් ඒ නැඹුරුව ඉතා අශීලාචාර පාවා දීමක් බව අපි කණගාටුවෙන් ලියමු.


එසේම මේ පත් කිරීම සිවිල් සමාජය තුළ බරපතල ලෙස සාකච්ඡා  වෙමින් පවතී. ඒ සාකච්ඡාව ජනපතිවරයා මග හැර යන්නේ නම් හෝ නොතකා සිටින්නේ නම් හෝ එහි අවසන් ප්‍රතිඵලය ඉතා අනතුරු සහිතය. ජනපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව කිසිම හිරිකිතයක් හා ලැජ්ජාවක් නැතුව මේ කෙලසන්නේ සමාජය ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසයයි.


ලැජ්ජාවක් නැතිව විශ්වාසය කෙලෙසීම....


ජනපතිවරයා ඇතුළු ජාජබයන් විසින් ඔවුන්ගේ සමීතමයන් ගේ සිත් රිදවූ පළමු අවස්ථාව ද මෙය නොවේ. ඒ ගැන අනාවරණය කළ හැකි තව තොරතුරු තිබේ. මෙහි ප්‍රමුඛතම අවස්ථාව වූයේ මහජන ආරක්ෂක අමාත්‍යංශය බාර අමාත්‍ය ආනන්ද විජේපාල සිය උපදේශකයා ලෙස වි⁣ශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රණවීර පත් කර ගැනීමය. 


එය ජාජබයට සම්බන්ධ ජවිපෙ පළමු⁣ පෙළ ක්‍රියාකාරිකයන්ගේ දැඩි විවේචනයට ලක් වූ පත් කර ගැනීමක් විය. අසූ නවය භීෂණ සමයේ කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න පොලීසියේ සේවය කළ මේ රණවීර ජවිපේ ක්‍රියාකාරින්ට ඉතා සාහසික ආකාරයෙන් වද දී ඝාතනය කළ මෙලේච්ඡයකි.

එපමණක්ද නොවේ, මොහු ගේ පොලිස් සේවාවම අපකීර්තිමත් හා ගඳ ගසන කෙරුවාවන් ගෙන් යුක්ත විය.


පොලිස් දෙපාර්තමේන්තුව හසුරවන පීචං දූෂිතයා...


රාජපක්ෂවරුන්ගේ ඔඩොක්කු කුක්කුවූ මේ රණවීර තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කරන ලදැයි අධිකරණයේ චෝදනා ලැබූ අයෙකි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හා ඔහු අතර යාළු කමක් තිබෙන්නට පුළුවන. එහෙත් ආනන්ද විජේපාල අමාත්‍යවරයා හිතේ තබා ගත යුතු වන්නේ මේ ජාජබ ආණ්ඩුව පිහිටුවීමේ අවදානම ගත්තේ ඔහුගේ අම්මා අප්පා නංගී මල්ලී පමණක් නොවන බවය. ඒ නිසාම පුද්ගලික යාළු මිත්‍රකම් ආණ්ඩුවේ පත් කිරීම් වලට අදාල කර ගත යුතු නැත. 


එහෙත් බිම් මට්ටමේ ජවිපේ  සමීපතමයන්ගෙන් ⁣මේ රණවීරට එරෙහිව එල්ල වූ චෝදනා ආනන්ද විජේපාල අමාත්‍යවරයා අධෝවාතයක් තරමින්වත් ගණන් ගත්තේ නැත. මෙතෙක් ගණන් ගෙනද නැත. මේ වන විටත් පොලිස් දෙපාර්තමේන්තුව හසුරවන්නේ මේ පට්ට පීචං දූෂිතයාය.⁣ 


කොස්තාපල් ⁣පොලිස්පතිවරයාද, මෙි රණවීර උන්නැහේ සමීපයේ බාල්දුය. ආනන්ද විජේපාල හා සුනිල් වටගල ඇමති දෙබාන සිතා ගෙන සිටින්නේ "මයි කාර් මයි පැට්‍රල්" නිසා හිතූ හිතූ දේ කරන්නට පුළුවන් කියා වෙන්නට ඇත. තව කොච්චර කාලයක් ඔය ආතල් එක විඳින්නට හැකි වේදැයි සැක සිතෙන්නේ ආණ්ඩුවේ ගමන් බකලය දුටු විටය. 


ආණ්ඩුවේ මන්ත්‍රීවරු රහසිගත සාකච්ඡාවක..


කෙසේ වෙතත් සිය සමීපතමයන් අත් හරිමින් හා ඔවුන් ⁣නොසළකා හරිමින් ජජාබ ආණ්ඩුව යන මේ ගමනේ⁣ කෙළවර ඉතා බිහිසුණු ඛේදාන්තයක් බව නම් පැහැදිලිය. ජාජබ ආණ්ඩු⁣වේම කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහචාර්යවරයකුගේ ප්‍රධානත්වයෙන් රහසිගත රැස්වීමක් තබා ඇති බවට මේ අතරේ අපට වාර්තා විය. 


පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ මහචාර්යවරයා දේශපාලනයේ "වල් එඬුරු ගසක්" බව අප දනිමු. එහෙත් ඔහු මේ හදන්නේ ගින්නක් අවුලවන්නටය. ඒ නිසාම මේ සාකච්ඡාව නොසලකා සිටින්නට නොහැකිය. ගස් නැති රටේ වල් එඬරු ගසද ගසක් ලෙස වැඩෙන්නට ඉඩ තිබේ.


"ජන බලයේ" කලකිරීම සහ වාචාල සුදාගේ කඩේ යෑම...


හෙට අනිද්දා "ජන බලය" සමූහයෙන් රැස්වීමක් සංවිධානය කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ."ජනබලෙන් එයාලට ඇප නෑ ජන වරම මෙයාලට කැප නෑ" යන්න ඒ රැස්වීමේ තේමාවයි. ජන බලය සමූහය මෙතෙක් කාලයක් ජාජබ ආණ්ඩුවට විවේචනාත්මකව සහයෝගය දුන් කණ්ඩායමකි. එහෙත් මේ වන විටත් ඒ සමූහයේ ඉදිරි පෙල ක්‍රියාකාරිකයන් ගේ අදහස වී ඇත්තේ ජනපතිවරයා ඇතුළු ආණ්ඩුව විවේචන නොඉවසන උද්දච්චයන් පිරිසක් බවය. 


මේ යන විදියට ආණ්ඩුවට හොඳ කියන්නට ඉතිරි වන්නේ "වාචාල සුදා"පමණක් බව අපට සිතේ. ඒ සුදා සිය යූ ට්යුබයෙන් නිතර අඟවන පරිදි ඔහුට ජනපතිවරයා සමග ඕනෑම අවස්ථාවක  දුරකථනයෙන් සම්බන්ධ විය හැකි යැයි කියන නිසා ය. ඒ ගැන අපට ඉරිසියාවක්ද නැත. සුදා ගේ ආතල් ජනපතිවරයාට හොඳ නම් අපට පාන් දැයි අපි අසමු. 


එහෙත් ජනපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවේ හැම කෙරුම්කාරයෙකුම සිතා ගත යුත්තේ ආණ්ඩුව බලයට පත් කිරීමට දිවා රෑ නොබලා කැප වූයේ "එක සු⁣ද්දෙක්" පමණක් නොවන බවය. බොහෝ පුරවැසියන් තවමත් ඉන්නේ ආණ්ඩුව ආරක්ෂා කර ගෙන නිවැරිදි පීල්ලට ගත යුතුය යන අදහසේය. එහෙත් ආණ්ඩුවේ උද්දච්චකම් නිසාම ඒ අදහස අත් හරින්නට පටන් ගතහොත් මේ පුරවැසියන් ගේ තේරීම "ඉතා නරකම" දේ බලය⁣ට පත් කරවීම වන්නටද පුළුවන. 


එසේම ඒ නපුර, කෙළවර විය හැකි වන්නේ ඉතා අවාසනාවන්ත ලේ වැගිරීමකින් විය හැකි බවටත් ආඩම්බරකාර කොම්රේඩ්ස්ලා තේරුම් ගන්නේ නම් හොඳය. ඒ දිනයට ඔය ඇත්තන් ආරක්ෂා කර ගැනීමට මහජන ආරක්ෂ⁣ක ඇමති ඩබලගේ කෙරුම්කාර උපදේශක රණවීර තියා පාරේ දඩාවතේ යන වල් බල්ලෙක්වක් නැති වන බව නම් කැට තියා සඳහන් කරමු.


දක්ෂිණ ලියනාරච්චි ✍️