Back to home
Breaking newsDefense

සංජීව ඝාතනයට උදව් කළ නීතිඥවරියට ⁣රහස් පොලීසියෙන් අමුතු සැළකිල්ලක්.

සංජීව ඝාතනයට උදව් කළ නීතිඥවරියට ⁣රහස් පොලීසියෙන් අමුතු සැළකිල්ලක්.

ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි කඩවත ප්‍රදේශයේ තමරා අබේරත්න නම් නීතීඥවරියට එරෙහිව තව දුරටත් ත්‍රස්තවාදී පනත යටතේ විමර්ශන කටයුතු නොකරන බවත්, ඇයට එරෙහිව අපරාධයකින් උත්පාදිත දේපොල සම්බන්ධව විමර්ශන කරමින් තිබෙන බවත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙන ලදී.



මෙහිදී අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවෙන්, මහේස්ත්‍රාත් අසංක බෝදරගම විමසා ඇත්තේ,  ව්‍යාජ හැඳුනුම්පත් යොදා ගනේමුල්ල සංජීව ඝාතනයට උදව් කළ නීතිඥවරියට ⁣රහස් පොලීසියෙන් අමුතු සැළකිල්ලක් දක්වාලමින් මෙම නීතිඥවරිය විසින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් අටක කෝටි 24 ක් ගිණුම් ගත කරන ලැදැයි මීට පෙර අවස්ථා තුනකදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද චෝදනා එක රැයකින් වෙනස් ⁣වූයේ කෙසේද යන්නය. 


නීතිය ඉදිරියේ සිටින්නේ හුදෙක් සැකකරුවන් නොව මනුෂ්‍යයන් බව සිතිය යුතු යැයි අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, මෙම සැකකාරියට එරෙහිව අපරාධයකින් උත්පාදිත දේපල පනත යටතේ  විමර්ශන කරන බවට රහස් පොලීසිය දෙන වාචික පොරොන්දු මත තීරණ ගත නොහැකි බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120 වගන්තිය යටතේ සැකකාරිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.


දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවා ගෙන ප්‍රශ්ණ කරමින් සිටින නීතිඥ තමරා කුමාරි අබේරත්න පිළිබඳව, මීට පෙර අධිකරණයට වාර්තා කර තිබුණේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවය. 


2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැය මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණය ⁣වෙත වාර්තා කර තිබුණි. 


ඒ අතරම මෙම නීතීඥවරිය, ගනේමුල්ල සංජීව උසාවිය තුළදී ඝාතනය කිරීම සඳහා ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට අධිකරණ භූමියට ඇතුළුවීමට නීතීඥ හැදුනුම්පත්, නීතිඥ කබාය සහ නඩු විධාන සංග්‍රහය පොත ලබාදීම මෙන්ම නීතිඥ හැදුනුම්පත් නිර්මාණය කරදී ඊට ඇයගේ අත්සනද යොදා ඇති බවත් වෙඩික්කරුට සහ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට වාහනයේ ගමන් කිරිමේදී නීතිඥවරුන් භාවිතා කරන ස්ටිකර් ආදියද සැකකාර නීතීඥවරිය විසින් සපයා දී ඇති බවත් විමර්ශන මගින් හෙළිවී තිබුණි.