මල කෙළියයි, මන්ත්‍රීනි සහෝදරී "මැඩම්" වෙලා...

ඇය තග දාන්නීය. ඒ ලෝකල් මාධ්‍යකාරයෙකුටද නොවේ. බී. බී. සීයට ය.
තමුන්ට තොරතුරු දුන්නේ කවුරුන්දැයි ඇය දිගින් දිගටම බීබීසීයෙන් විමසයි. ඇය වෙනින් කවුරුවත් නොවේ. ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මැඩම් ය.
කෙසේ වෙතත් ආණ්ඩුවේ මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මැඩම් බීබීසීය සමග පැටලෙන්නේ, පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවෙි ප්‍රගතිය සහ ඉදිරි කටයුතු විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදය, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වු රැස්වීමේ සිදු වූ සිද්ධීන් වාර්තා කිරීම පිළිබඳවය.
මන්ත්‍රී මැඩම්ගේ දැඩි දෝෂ දර්ශනය..
මෙම රැස්වීමේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම මෙම මන්ත්‍රී මැඩම්ගේ දැඩි දෝෂ දර්ශනය ලක් කොට ඇති බවට විශ්වසනීය මූලාශ්‍රයකින් ලැබුන තොරතුරු බීබීසිය පළ කර තිබේ.
එම සංසදයේ සභාපතිනි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම ජූනි 5 වන දා පවත්වා ඇති අතර, ඒ සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග අමරසිංහ, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන්, උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් නිර්මාණී අමරතුංග, බස්නාහිර පළාත් පරිවාස කොමසාරිස්වරිය සහ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු බස්නාහිර පළාතේ උසස් නිලධාරින් රැසක් මෙන් ම නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කැඳවා තිබිණි.
මේ රැස්වීම බීබීසීය වාර්තා කර තිබුණේ මෙසේය .
"......මෙම රැස්වීම ආරම්භයේදී ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මැඩම් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය අමතමින් පවසා ඇත්තේ, දැරියක දූෂණය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය පොලිසියේ විමර්ශන පිළිබඳව විවේචනය කරමින් කරුණු දැක්වීම තුළින් විමර්ශන නිලධාරීන් අධෛර්යවත් කර ඇති බව ය.
තමන් ද මෙම විෂය පිළිබඳව හොඳින් දන්නා බව ද ප්‍රකාශ කර ඇති නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය, මසක් වැනි කෙටි කලක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරදක් නැති බව ප්‍රකාශ කර තිබේ."
"සැකකාර හිමි නම අත්අඩංගුවට ගැනීමට 'කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට සිදුවූ' බව ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරියගෙන් ප්‍රශ්න කර ඇති මන්ත්‍රීවරිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසියට බලපෑම් එල්ල වූයේ නම් එසේ බලපෑම් කළේ කවුරුන් ද යන්න හෙළි කරන ලෙස ද ඉල්ලා තිබිණි. ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලගැන්වීමේ අධ්‍යෂකවරිය පොලිසියේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කළ කරුණු දැක්වීම මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිල මාධ්‍ය නිහඬ වී ඇති පසුබිමක යූටියුබ්කරුවන්ට ආයුධ සපයමින් රජය සහ පොලිසිය පිළිබඳව සමාජය තුළ වැරදි මතයක් ජනගත කිරීමට වෙර දරා ඇති බව ද ප්‍රකාශ කොට තිබේ."
"මන්ත්‍රීනි මැඩම්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරිය පවසා ඇත්තේ, ළමාරක්ෂක ආඥා පනතට අනුව, මෙවැනි සිද්ධියකදී වින්දිත පාර්ශවයට නිසි අයුරින් යුක්තිය ඉටු වන්නේ ද යන්න විමසා බැලීම සහ එලෙස යුක්තිය ඉටු නොවන අවස්ථාවකදී ඊට මැදිහත්වීම ජාතික ළමාරක්ෂක අධිකාරියේ ව්‍යවස්ථාපිත වගකීමක් බව ය. මෙම සිද්ධියේදී තම අධිකාරිය ඉටු කළේ එම රාජාකාරි නිල කටයුත්ත පමණක් බව ද අධ්‍යක්ෂවරිය පවසා තිබේ."
"සැකකාර හිමනම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බලපෑම් කළේ කවුරුන් දැයි මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ සජීවනී අබේකෝන් පවසා තිබුණේ, බලපෑම් එල්ල කළේ කවුරුන් ද යන්න තමන් නොදන්නා බවත්, එහෙත්, තම අධිකාරිය මෝසමක් මගින් අධිකරණයට කරුණු දක්වා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් ලබාගන්නා තුරු පොලිසිය සැකකරු අත්අඩංගුවට නොගත් බවත් ය."
(උපුටනය අවසන්ය)
ඩී අයි ජී උන්නැහේගේ දොළදුක....
ඒ අතරේ මේ රැස්වීම නියෝජනය කළ ඩීඅයිජී උන්නැහේ පවසා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ හැම එකාටම සේෆ්ටි ඔන් ලයින් පනතින් අධිකරණයේ නඩු පැවරිය යුතු බවය. උන්දෑ ගේ පොලිස් කෙරුවාව ගැනත් අපට ලියන්නට බැරි කමක් නැත.
නීතිය හමුවට යන්නන් පිරිසිදු දෑතින් යා යුතු බව පමණක් අපි දැනට උන්නැහේට සිහිපත් කරන්නට කැමතිය. මන්ත්‍රීනි මැඩම් ගේ දෝස්මුරයෙන් චූන් වී උඩු බුරන්නට යාම නම් එතරම් ගුණදායක නැත.
අනුරාධපුර දැරියගේ සිද්ධියේදී පොලීසිය ක්‍රියා කළ අජූත අශීලාචාර රාජකාරිය ගැන මුළු රටම දනී. මන්ත්‍රීනි මැඩම්ලාගේ ඔඩොක්කුවට පැන මාධ්‍යය වෙත "මෙන්න නයා"පෙන්නුවාට කිසිම වැඩක් නැති බව ඩීඅයිජී කෙරුම්කාරයා තේරුම් ගන්නේ නම් හොඳය.
ආචාර ධර්ම සහ මහන්තත්ත කම...
එසේම මෙම රැස්වීමේ තොරතුරු සම්බන්ධයෙන් පසුව බීබීසීය වැඩිමනත්ව මන්ත්‍රී මැඩම් ගෙන් විමසා තිබේ. එහිදී මන්ත්‍රී මැඩම් බීබීසීයෙන් විමසන්නේ තොරතුරු ලබා ගත් මූලාශ්‍රයන් මොනවාද යන්නය. නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම පද්ධතියක් පවතී. සේවා දායකයකු නීතිඥයෙකුට පවසන තොරතුරු වෙනත් පාර්ශවයකට නොපැවසීමද ඒ ආචාර ධර්ම වල සඳහන් සුපිරි කොන්දේසියෙකි.
නීතිඥවරියක වන ලක්මාලී හේමචන්ද්‍ර මැඩම් බීබීසී මාධ්‍යවේදියාගෙන් ඔහුට තොරතුරු ලැබුණ මූලාශ්‍රයන් විමසන්නේ මහන්තත්ත කම නිසා වෙන්නට පුළුවන.
ඒ මහන්තත්ත කම නම් එසේ මෙසේ එකක් නොවන්නේ ඇය නීතිඥවරියක වන නිසාය. මන්ත්‍රීනි මැඩම් ගේ නීතිඥ වෘත්තිය හා සමානවම මාධ්‍ය වෘත්තිකයාට ද තමන් තොරතුරු ලබා ගන්නා මූලාශ්‍රයන් ගේ රහස්‍ය බව ආරක්ෂා කිරීමට අඛණ්ඩ වගකීමක් පැවරී ඇත. ඇය ඒ බව නොදන්නා තරමේ "සූප්පු බබෙකුද" නොවේ.
සහෝදරී 'මැඩම්' ගේ මාධ්‍ය තර්ජනය...
ඇය අනතුරුව මාධ්‍ය වෙත තර්ජනය කර ෆේස් බුක් සටහනක්ද මුදා හරී. එහි ඇය මෙසේ ලියා තිබුණි.
"මෙම ලිපිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමි. මෙම මාධ්‍යවේදියා පාර්ලිමේන්තුවේ සිදු වූ සාකච්ඡාව පිළිබඳව අසත්‍ය කතාවක් නිර්මාණය කර ඇත්තේ දේශපාලන පක්ෂ මන්ත්‍රී මණ්ඩලය සහ කාන්තා මන්ත්‍රීවරියන් ඉලක්ක කරගත් ද්වේෂසහගත තොරතුරු මත ය. මෙය මගේ අවධානයට යොමු කිරීම ගැන ඔබට ස්තූතියි.'
(මන්ත්‍රීනි මැඩම් ෆේස්බුක් පිටුවේ ඉංග්‍රීසියෙන් තැබූ සටහනේ පරිවර්තනයකි.)
ඇය මේ සටහනින් අඟවන්නේ බීබීසිය වරප්‍රසාද කමිටුවට කැඳවන බවය. එය සිය බල පුළුවන්කාරකම ගැන කෙරෙන තර්ජනයක් විදියට සැළකිය හැකිය.
වරප්‍රසාද පනතේ ඉතිහාසය සහ නඩු...
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත නිර්මාණය වූයේ කවර හේතුවක් නිසාදැයි අඩුම තරමේ මේ මන්ත්‍රීනි මැඩම් දන්නවාදැයි අපි නොදනිමු. ඇය නීතිඥවරියක නිසා පනත ගැන නම් දන්නවා ඇතැයි සිතමු.
ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ගෝල්ෆේස් පිටියේ පැවැති රැස්වීමකදී පාර්ලිමේන්තුවේ ඉන්නේ "පුදුම සත්තු" යැයි කළ ප්‍රකාශනයකින් මන්ත්‍රීවරුන්ට අපහාසයක් වී යැයි පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත නිර්මාණය විය. එම පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ මාධ්‍යවේදීන්ට එරෙහිව නඩු විභාග කෙරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
එහෙත් 1977 බලයට පත් වූ එජාප ආණ්ඩුව 1978 වර්ෂයේදී වරප්‍රසාද පනත සංශෝධනය කරමින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් නඩු ඇහීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් පාර්ලිමේන්තුව වෙත පවරා ගන්නා ලදී.
මේ පනත සංශෝධනය කර දිනයකින් දෙකකින් ආණ්ඩුවේම පුවත්පතක් වන ලේක්හවුසියේ "සවස ඔබ්සවර්" පත්‍රයේ කර්තෘ හැරල්ඩ් පීරිස් හා සම කර්තෘ පිලිප් කුරේ විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කරන ලදැයි චෝදනා කරමින් පාර්ලිමේන්තුවට කැඳවන ලදී. එහිදී මේ කර්තෘවරුන් දෙදෙනාට සිය පාර්ශවීය කරුණු ඉදිරිපත් කිරීමට දී ඇති කාලය විනාඩි 90 කි. ඔවුන් වෙනුවෙන් නීති වේදියකු පෙනී සිටීමද අහිමි කෙරිණි.
ඔබ්සවර් පත්‍රයේ පල කරන ලද ඡායාරූප දෙකක සටහන් මාරු කර පළ කිරීමෙන් එවකට විදේශ අමාත්‍ය ඒ.සී.එස්. හමීඩ් ගේ වරප්‍රසාද කඩ වූ බවට චෝදනාවක් විය. විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශ සංචාරයක් යෙදී සිටින අයුරු දැක්වෙන පින්තූරයට යටින්, සිනමා නිළියක් බෝට්ටු සවාරයක යෙදෙන අයුරු යැයි සඳහනක් කිරීම තුළින් ඔහුගේ වරප්‍රසාද කඩ කරන ලදැයි එම චෝදනාවේ දැක්විණි.
මේ චෝදනාව විභාග කරන ලද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ මාධ්‍යවේදීන් දෙදෙනා අදාළ චෝදනාවට වැරදිකරුවන් කරමින් රුපියල් දහස බැගින් දඩ නියම කර වැරැද්ද සිදු වූයේ පළමු වරට නිසා සිර දඬුවම් නියම නොකරන බවද ප්‍රකාශ කෙරුවේය.
'ඇත්ත' කර්තෘ සිරාට දුන් අපූරු තීන්දුව...
මින් පසු කාලයකදී ඒ ආණ්ඩුවේම උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය අත්තනායක පාර්ලිමේන්තුවේදී වරින් වර සිදු කරන අවිද්‍යාත්මක හා සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ඇත්ත කර්තෘ බී.ඒ.සිරිවර්ධන විසින් "ගොනා වුනාට උම්බෑ කියන්න එපා" යන මැයෙන් කතු වැකියක් ලියන ලදී. ඇත්තේ සිරා මේ කතුවැකිය ලියන්නට ප්‍රධාන හේතුව වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී "කාල් මාක්ස් උගත්කමක් නැති හිඟන්නෙක් යැයි කළ ප්‍රකාශයකි.
මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් ලෙස තීන්දු කළ පාර්ලිමේන්තුව, ඇත්ත කර්තෘවරයාට ඉන් දඬුවම් නියම කිරීම වෙනුවට ඒ වරදට බරපතල දඬුවම් දීමේ අපේක්ෂාවෙන් ඔහුට දඬුවම් දීම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරුවේය. වරප්‍රසාද කඩ කිරීමක් සම්බන්ධයෙන් වසර 05 ක් දක්වා සිර දඬුවම් හා රුපියල් 10000 දක්වා මුදලින් දඩ නියම කළ හැකිව තිබුණි. එහෙත් මේ නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේදී ලබා දුන් තීන්දුව ඵෙතිහාසිකය.
"පාර්ලිමේන්තුව මේ කර්තෘවරයා වරප්‍රසාද කඩ වීම සම්බන්ධයෙන් වරදකරු කර අප වෙත යොමු කර ඇත්තේ දඬුවම් නියම කිරීමටය. එම නිසා ඔහු නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැත. නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කර ඇති ප්‍රකාශ දෙස බලන විට මේ කර්තෘවරයා යොදා ගෙන ඇති භාෂාව මටසිලිටි වැඩි යැයි හැඟේ."
"පාර්ලිමේන්තුවට සිදුවූ අපහාසයට රුපියල් 200 දඩයක්ද නියෝජ්‍ය අමාත්‍යවරයාට සිදුවූ අපහාසයට රුපියල් 50ක දඩයක්ද නියමු කරමු" යැයි එම තීන්දුවේ දැක්වේ.
ඇත්ත පත්තරයේ කර්තෘවරයාට ලබා දුන් ඒ දඬුවම ගැන පැමිණිලි පාර්ශවයට සමච්චලයක් කිරීමටත් ඇත්ත පාර්ශවය වග බලා ගත්තේය. ඒ දඩ මුදල් ගෙව්වේ ඇත්ත පාඨකයන්ගෙන් සතය බැගින් සම්මාදම් කිරීමෙනි. කෙසේ වෙතත් ඒ තීන්දුවෙන් ඇඟවෙන ආකාරයට පැමිණිලි පාර්ශවයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ගොනෙකුටත් එහා ගිය මෝඩ පරාණයකි.
චෝදනා ගොන්නකට ලක් වූ වික්ටර් අයිවන්...
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම් සම්බන්දයෙන් වැඩිම චෝදනා වලට ලක් වී ඇත්තේ රාවය කර්තෘ වික්ටර් අයිවන් ය. පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාවේ 05 දෙනෙකු තමන්ට එරෙහිව තම වරප්‍රසාද කඩ කරන ලදැයි චෝදනා කර තිබියදී ඔවුන් නියෝජනය කරන වරප්‍රසාද කාරක සභාවෙන් තමාට යුක්තියක් ඉටු කර ගත නොහැකි බවට වික්ටර් අයිවන් තර්ක කෙරුවේය.
ඔහු සිය පැමිණිල්ල ජාත්‍යන්තරයට ගෙන ගිය අතර ඔහුට එරෙහිව සිදු කළ පරීක්ෂණ ඇණ හිට්යේය. ඉන් අනතුරුව රාවයට එරෙහිව වරප්‍රසාද කඩ කිරීම් වරප්‍රසාද කාරක සභාව තීන්දු කරන ලද්දේ වික්ටර් අයිවන් නොකැඳවාය. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුව සිටි කාලිංඟ ඔබේවංශ
රාවයට එරෙහිව මතු කළ වරප්‍රසාද ප්‍රශ්ණයක් රාවය කර්තෘවරයා නොකැඳවා ඒකපාර්ශිකව විභාග කළ පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව මන්ත්‍රීවරයාගෙන් සමාව අයදින ප්‍රකාශයක් පත්‍රයේ පල කිරීමට එක් අවස්ථාවකදී නියෝග කෙරිණි.
'හීන් සැරය' ද සැරයක් බව අමතක වුනොත්...
වරප්‍රසාද කාරක සභාවේ පැටිකිරිය ඔහොමය. මන්ත්‍රීනි මැඩම්ට ඕනෑ නම් සිය වරප්‍රසාද කඩවූ බවට චෝදනා කරමින් වග උත්තරකාර පාර්ශවයන් පාර්ලිමේන්තුවට ගෙන්විය හැකිය. ඒ ගැන කිසිම වාදයක් නැත. බොහෝ දෙනා බලා සිටින්නේද එසේ කැඳවන තුරුය. වරප්‍රසාද කමිටුව හා හැප්පෙන්නට අපි ඉතා පුංචි මිනිස්සුය. ඒත් මන්ත්‍රීනි මැඩම්, හීන් සැරයද සැරයක් බව අමතක නොකරන්නේ නම් හොඳය. දෙවියන් දුන් දේ දෙවියන්ට ආපසු ගත හැකි බවට බයිබලයේ සඳහන්ය.
ආමෙන්...
දක්ෂිණ ලියනාරච්චි ✍️