හිටි හැටියේ තරුණයන් මිය යෑමේ අභිරහස කුමක්ද?

මේ වන විට හදිසි හෘදයාබාධ වැළඳී මිය යන තරුණ තරුණයන් පිළිබඳව මෙරටින් දිගින් දිගටම වාර්තා වේ. පසුගිය කාලය තුළදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙක්ම හදිසි හෘදයාබාධ නිසා මිය ගිය බව අනාවරණය විය.
පසුගිය දිනයක නීතිඥ උපුල් කුමරප්පෙරුමගේ වයස අවුරුදු 24 ක පුත්‍රයාද හෘදයාබාධයක් නිසා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වූ අතර ඒ තරුණයාගේ හදිසි වියෝව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් ගේ දැඩි කම්පනයට හේතු වී තිබේ.
මෙලෙස හෘදයාබාධ වැළඳී තරුණයන් මිය යාම මෙතෙක් මෙරට සෞඛ්‍ය බලධරයන් ගේ අවධානයට ලක් වී නැති වීම කණගාටුවට කරුණකි. මෙවැනි හදිසි මරණ පිළිබඳව මාධ්‍ය තුළිිින් වාර්තා නො වූවද බොහෝ ප්‍රදේශවල තරුණයන් ගණනාවක්ම හදිසියේම හෘදයාබාධ වැළඳී මරණයට පත් වී ඇති බව අපගේ සොයා බැලීම් වලදී තහවුරු වී තිබේ.
මේ හදිසි හෘදයාබාධ තත්ත්වය ආහාර රටාව වෙනස්වීම, මත්ද්‍රව්‍ය පානය හා කාම උද්දීපනය සඳහා ගන්නා ඖෂධ භාවිතය හේතුවෙන් මතු වන බව සැක කළ හැකිය. එහෙත් ඒ අපගේ නිගමනයන් තහවුරු කර ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මක පදනමිනි. අපට වටපිටාවෙන් ඇසෙන තොරතුරු මත පිහිටා සිදු කළ නිගමනයන් සැක සහිත අවධාරණය කිරීම් මිස වෛද්‍ය විද්‍යාත්මක තහවුරු කිරීම් නොවන බව ද සැළකිය යුතුය.
බොහෝ ප්‍රදේශවල තුන් රෝද රථ ප්‍රවාහන මාධ්‍යයට සම්බන්ධ යොවුන් වියේ තරුණයන් හදිසියේම හෘදයාබාධ වැළඳී මිය ගොස් ඇති බවට වූ ප්‍රවෘත්ති කිහිපයක් අප විසින් ගවේෂණාත්මකව සිදු කරන ලද සොයා බැලීමේදී තහවුරු විය.
මේ මියගිය තරුණයන් මත් ද්‍රව්‍ය පානයට ද කාන්තා ඇසුරට ද ලොල් වූවන් බවට අනාවරණය විය. එපමණක් ද නොව, මොවුන් කාම උද්දීපනය සඳහා වෙළඳ පොළේ තිබෙන ඖෂධ භාවිතා කරමින් සිටි බව ද දැනගන්නට ලැබුණි. මත්ද්‍රව්‍ය පානය කර මේ ඖෂධ අධි මාත්‍රාවෙන් ලබා ගැනීම මරණය ඕනෑ කමින් කැඳවා ගැනීම බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.
මෙරට තුන් රෝද රථ ප්‍රවාහන මාධ්‍යය නියාමනය සඳහා මැදිහත් වන රාජ්‍ය ආයතන එම ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණ රියදුරන් මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරීමෙන් නොනැවතී, මෙවැනි අනාරක්ෂිත ක්‍රියාකාරකම් නිසා ඔවුන් කෙරෙහි පවතින බරපතල ජීවිත අවදානම ගැනද දැනුවත් කිරීම වටී. මේ කාර්යය ඉටු කිරීම සඳහා නගරසභා, ප්‍රාදේශීය සභා වලට ඉතා පහසුවෙන් මැදිහත් විය හැකිය. පොලීසියටද පුළුවන.
ඒ සමගම සමාජය මේ වන විට සිය පරිභෝජනය සඳහා ක්ෂණික ආහාර ලබා ගැනීමටත් අධික මේදය අඩංගු ආහාර ලබා ගැනීමටත් නැඹුරුව සිටී. එහිදී තමන් මිලට ගන්නා ආහාරවල ප්‍රමිතිය හා සංයුතිය ගැන අවබෝධයක් හෝ අදහසක් මෙරට සමාජයේ බොහෝ දෙනෙකුට නැත. සමාජය හුරු වී සිටින්නේ කටට දැනෙන රහටය.
මෙරට වෙළඳපොළෙහි අලෙවි කරන ආහාර පිළිබඳව සොයා බැලීමට බොහෝ රාජ්‍ය ආයතන පවතී. එහෙත් මේ සෑම ආයතනයකම රාජකාරිය එපා වාහෙට හොදි බෙදන්නා වාගේය. මේ ආයතන වලට සිය වගකීම පිළිබඳව සිහිපත් වන්නේ සිය රාජකරිමය විෂය පථයට අදාලව සමාජය තුළිිින් බරපතල අනතුරක් වාර්තා වූ විට පමණය.
කෙසේ වෙතත් මෙරට තරුණයන් අතර ඇති වෙන හදිසි හෘදයාබාධ වලට හේතුව කෝවිඩ් සමයේදී ලබා දුන් එන්නත් බවට මේ වන විට සමාජය තුළ කතා බහක් පවතී. ඒ සිතීම සැකයක් පමණි. මෙරට සෞඛ්‍ය බලධරයන් ඒ පිළිබඳව විමර්ශනයක් කර ඇත්තේද නැත. කෝවිඩ් වසංගතය අවදියේ මෙරට පුරවැසියන්ට ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් අතර ෆයිසර් හා ඇස්ට්‍රසෙනෙකා ප්‍රධාන වේ.
පසුගියදා ඇමරිකාවේ කැන්සාස් ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ එම ප්‍රාන්තයේ නීතිපති ක්‍රිස් කොබෙච් විසින් අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ෆයිසර් සමාගමට එරෙහිව 2024 ජුනි 17 වන දින නඩු පවරන ලදී.
ෆයිසර් සමාගම මෙි නඩුව ෆෙඩරල් අධිකරණයකට මාරු කරන ලෙසට ඉල්ලීමක් කෙරුවද විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් තවදුරටත් නඩුව කැන්සාස් ප්‍රාන්තයේම විභාග කරන බවට තීන්දු කෙරුවේය.
ලොව පුරා පැතිරී ගිය කෝවිඩ් වසංගතයට ප්‍රතිශක්තිකරණයක් ලෙස ෆයිසර් සමාගම හඳුන්වාදුන් එන්නත ලබා ගන්නා ලද බොහෝ ඇමරිකානුවන් මේ වන විට විවිධ සංකූලතා වලට මුහුණ දෙමින් සිටින බවත්, ඉන් සමහරු මිය ගොස් ඇති බවත් නීතිපති ක්‍රිස් කොබෙච් අධිකරණය ඉදිරියේ පවසා තිබේ. මේ නිසා සිය එන්නත ගැන සැබෑ සත්‍යය ෆයසර් සමාගම සමාජයට හෙළි කළ යුතු බවටත් ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.
2024 නොවැම්බර් 30 වන දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇටොර්නි ජනරාල් කෙන් ෆැක්ස්ටන් විසින්ද ෆයිසර් සමාගමට එරෙහිව නඩුවක් පවරන ලද අතර, එම නඩුව පෙඩරල් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් ඇටෝර්නි ජනරල්වරයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් නඩුව පවත්වා ගෙන යාමට කටයුතු කර තිබේ.
ඒ අතරේ කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් වූ ඇස්ට්‍රසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ සමාගමට එරෙහිවද ජේම්ස් ස්කොට් නැමැත්තා ඇතුළු පිරිසක් 2023 වර්ෂයේ දෙසැම්බරයේදී ලන්ඩන් නුවර මහාධිකරණයේ නඩුවක් පවරන ලදී. 2024 ජනවාරි මාසයේදී ඇස්ට්‍රාසෙනෙකා සමාගම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තම එන්නත නිසා TTS (Thrombsis With Thrombo Cytoenina) නම් ලේඛන ගත අතුරු ආබාධය ඇති විය හැකි බව පිළිගත්තේය.
එම ආබාධය නිසා රුධිරය කැටි ගැසෙන බව අනාවරණය වේ. කෙසේ වෙතත් මින් අනතුරුව ලෝකය වටා බෙදා හැර තිබූ සිය එන්නත් තොග ආපසු ගෙන්වීමටද සමාගම පියවර ගෙන තිබුණි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද්දේ කොවිෂීල්ඩී නමනි. බොහෝ ආසියානු රටවලට ඉන්දියාව පරිත්‍යාග කරන ලද්දේ මේ එන්නතය.
මේ සියළු වාර්තා වලින් තහවුරු වන්නේ, කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා අතුරු ආබාධ ඇති විය හැකි බවය. එහෙත් මෙරට සෞඛ්‍ය බළධරයන් ඒ අවදානම සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමු කර නැත. රටක ජීවනාලිය තරුණ පුරපුරය. මේ තරුණයන් අකාලයේ ජීවිතක්ෂයට පත් වීම සමාජයට දරා ගත නොහැකි පාඩුවකි. හදිසියේ හෘදයාබාධ වැළඳී වියෝවන තරුණයන් ගැන සිතා එය උපන්ගෙයි කරුමය ලෙස සළකා කම්පා වීමට වඩා මේ සිදුවීම් ගැන අවධානය යොමු කිරීම බලධරයන් සතු අනිවාර්ය වගකීමකි.
දක්ෂිණ ලියනාරච්චි✍️