


කොටහේන ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවකගේ ඛේදනීය මරණයෙන් පසුව, රටම කම්පනයට පත් විය. එම අවස්ථාවේදී රජය පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළේ ළමුන් සම්බන්ධ සිදුවීම් සහ අපරාධ සඳහා අධ්‍යාපනය, පොලීසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස සේවා සහ අදාළ ආයතන සම්බන්ධ කරගත් ඒකාබද්ධ ළමා ආරක්ෂණ යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කරන බවය.
අගමැතිනිය සහ ඇමැතිවරිය දරුවන්ට දුන් බරපතල පොරොන්දුව..
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය 2025 මැයි 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මෙසේය.
"දරුවන් සමබන්ධව වන සිදුවීම් හා අපරාධ පිළිබඳව කඩිනම් පියවර ගැනීමේ යාන්ත්‍රණයක් කන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව ඉතා ඉක්මනින් නිර්මාණය කිරීම පිළිබඳව මම කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය සමඟ සාකච්ඡා කළා."
"කොටහේනේ සිද්ධිය පිළිබඳව දරුවාගේ දෙමව්පියන් වෙත අපි සියලු දෙනා කණගාටුව ප්‍රකාශ කරනවා. රජයක් ලෙස මෙවැනි සිද්ධීන් වළක්වන්න පුළුල් මැදිහත්වීමක් ලබා දෙනවා. දරුවන්ට පූර්ණ ආරක්ෂාව ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරනවා."
2025 මැයි මස අගභාගයේ දී ළමා හා කාන්තා කටයුතු ඇමැති සරෝජා පෝල්රාජ් පැවසුවේ කුමක්ද? ඇය පැවසුවේ මෙසේය.
"දරුවන් ආරක්ෂා කිරීම සඳහා බහු අංශීය (multi-sectoral) යාන්ත්‍රණයක් ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අධ්‍යාපන, සෞඛ්‍ය, නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඇතුළු පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ කරගන්නවා."
මෙම ප්‍රකාශ හුදෙක් ප්‍රතිපත්තිමය අදහස් නොවුණි. ඒවා රටේ දරුවන්ට ලබාදුන් බරපතල පොරොන්දුය.
පොරොන්දු වූ ඒකාබද්ධ යාන්ත්‍රණය කෝ ? ..
නමුත් අද වන විට තත්ත්වය කුමක්ද? කොටහේන සිද්ධියෙන් වසරකුත් දින 10 ක් එනම් දින 375කට පසුව, අනුරාධපුරයේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන විසින් සිදු කළ බව සඳහන් තවත් බරපතල ළමා අපචාර සිද්ධියක් වාර්තා විය. ඒ වන විටවත් අගමැතිනිය සහ ඇමැතිවරිය රටේ දරුවන් හමුවේ ලබා දී තිබූ පොරොන්දුව ඉටු කර නොතිබුණි. අපට අසන්නට ඇත්තේ ඉතා සරල ප්‍රශ්නයකි. එනම් එදා පොරොන්දු වූ ඒකාබද්ධ යාන්ත්‍රණය දැන් තියෙන්නේ කොහෙද? යන්න ය.
2026 ජුනි මස වන විටත්, එවැනි ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිළිබඳ ගැසට් නිවේදනයක්, කැබිනට් අනුමැතිය ලබා දුන් අවසර ලේඛනයක්, ජාතික ක්‍රියාකාරී සැලැස්මක්, දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාත්මක කිරීම් වාර්තාවක්, වාර්ෂික ප්‍රගති වාර්තාවක්, හෝ අඩුම තරමේ නිශ්චිත ආරම්භක දිනයක් මේ දක්වා ප්‍රසිද්ධියට පත් වී නැත.
කඩවුණු පොරොන්දුවට දැන් මාස දාහතරයි..
කොටහේන දැරිය සිය දිවි නසා ගත්තේ 2025 අප්‍රේල් 29 වැනිදා ය. පල්ලේගම හේමරතන ළමා ලිංගික අපචාර සිද්ධියකට අත්අඩංගුවට ගන්නේ 2026 මැයි මස 09 වැනි දා ය. ඒ අතර කාල පරතරය දින 375කි. එය සුළුපටු කාලයක් නොවේ.
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් 22 දෙනෙකුගෙන් සමන්විත කාන්තා නියෝජනයක් ද පවති. එසේම මේ වනවිට පවතින්නේ තුනෙන් දෙකකටත් වඩා වැඩි ශක්තිමත් බහුතර බලයක් හිමි ආණ්ඩුවකි. අවශ්‍ය දේශපාලන කැපවීම තිබුණේ නම්, ළමා ආරක්ෂණය ජාතික ප්‍රමුඛතාවයක් බවට පත් කිරීම කිසිසේත්ම අසීරු කාර්යයක් නොවන බව ඉතාමත් පැහැදිලි ය.
ළමා ආරක්ෂාව වැනි ඉහළ ප්‍රමුඛතාවයක් සහිත ක්ෂේත්‍රයක, පොරොන්දු හා ක්‍රියාත්මක කිරීම අතර ඉතා දිගු කාල පරතරයක් තිබිය හැකි ද? තිබිය යුතු ද? මෙයින් පෙනෙන්නේ රජයේ වගවීම සහ ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාවයේ දුගී බවේ තරම නොවේ ද?
මෙම සිද්ධිය අනුව ගත් විට, මේ රජයේ වගකීම් විරහිත භාවය ගැන විවේචන කිරීමට සාධාරණ පදනමක් නැතැයි කිසිවෙකුට තර්ක කළ හැකි ද?
අනුරාධපුර සිද්ධියෙන් පසුව අප දුටු විකාරය.
එහෙත්, අනුරාධපුර සිද්ධියෙන් පසුව අප දුටුවේ කුමක්ද? පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ රැස්වීමකි. මෙහිදී පැහැදිලිවම වෙන්කර හඳුනාගත යුතු කරුණක් තිබේ.
පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයට වැදගත් භූමිකාවක් තිබිය හැකිය. ඔවුන්ට අධීක්ෂණය කළ හැකිය. ප්‍රතිපත්ති යෝජනා කළ හැකිය. රජයෙන් වගවීම ඉල්ලා සිටිය හැකිය. නීති සංශෝධන වෙනුවෙන් පෙනී සිටිය හැකිය. නමුත්, පාර්ලිමේන්තු සංසදයක් යනු ළමා ආරක්ෂණ ක්‍රියාකාරී යාන්ත්‍රණයක් නොවේ.
දරුවෙකු අපචාරයට ලක් වූ විට අවශ්‍ය වන්නේ, ක්ෂණික පොලිස් මැදිහත්වීම,
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ක්‍රියාකාරී මැදිහත්වීම, පරිවාස හා ළමා රැකවරණ සේවාවල ආරක්ෂණ සැලසුම්, වෛද්‍ය සහ මනෝසමාජීය සහාය, නීතිපති දෙපාර්තමේන්තුවේ කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග, අධ්‍යාපනික සහ සමාජීය පසු විපරම් වැනි දෑ ය.
වෘත්තීය ක්‍රියා යට ගසන "රෝස සාරි" කතා..
මේවා ඉටුකර ගත හැක්කේ "රෝස සාරි" කණ්ඩායමක් එක් වී පාර්ලිමේන්තුව සිදු කරන සංවේදී කථාබහකින් නොවේ. මේවා ඉටුකර ගත හැක්කේ වෘත්තීය ආයතනික ක්‍රියාකාරීත්වයකින් පමණි.
ඒ නිසා, දින 375ක් තිස්සේ පොරොන්දු වූ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අසමත් වී, ඒ වෙනුවට "රෝස සාරි කණ්ඩායම" රැස්වී සාකච්ඡා කිරීම විසඳුමක් ලෙස ඉදිරිපත් කිරීම බොහෝ පුරවැසියන්ගේ දෘෂ්ටිකෝණයෙන් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලෙස නොපෙනීම පුදුමයක් නොවේ.
මෙය කාන්තා මන්ත්‍රීවරියන්ගේ කැපවීම හෝ අරමුණ විවේචනය කිරීමක් නොවේ. ප්‍රශ්නය වන්නේ ආයතනික වගකීම් නිසි ස්ථානවලට පැවරීම පිළිබඳව කටයුතු නොකිරීම යි.
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරියන් විසිදෙදෙනාගේ දැනුවත් භාවය කුමක්ද යන්න මා නොදන්නා නමුත්, මෙය කියවන පාඨකයාගේ දැනුවත් භාවය සඳහා ශ්‍රී ලංකාවේ මහාධිකරණ වල පවතින ළමා අපයෝජන හා සම්බන්ධ නඩු පිළිබඳ තොරතුරු ටිකක් සඳහන් කරමි.
ළමා අපචාරවල සැබෑ තතු දන්නවා ද?
දිවයින පුරා මහාධිකරණ 34ක ළමා අපයෝජන සම්බන්ධව නඩු විභාග වෙමින් තිබේ. 2026 මැයි 8 වන විට ළමා අපයෝජන සම්බන්ධ මහාධිකරණ නඩු 4,421ක් පවතී. 2026 අප්‍රේල් මාසයේ පමණක් කැඳවීමට නියමිතව තිබූ නඩු ප්‍රමාණය 437කි. වැඩිම ළමා අපයෝජන නඩු ප්‍රමාණයක් පවතින්නේ ගාල්ල මහාධිකරණයේ ය. එම ගණන 467 කි. දෙවන තැන මහනුවර ය. එතැන නඩු ප්‍රමාණය 418 කි. තුන්වැනි ස්ථානයට පත් වී ඇත්තේ කුරුණෑගල ය. එහි ඇති නඩු ප්‍රමාණය 412 කි. (මේ සම්බන්ධ සම්පූර්ණ විස්තර මේ ලිපිය සමඟ අමුණා ඇත.)
ළමා අපයෝජන නඩු දහස් ගණනක් අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී තිබියදී, සැබෑ අවශ්‍යතාවය වන්නේ සංකේතාත්මක දේශපාලන ප්‍රතිචාර නොව, දත්ත මත පදනම් වූ, වගවිය හැකි, කාලසීමා සහිත ආයතනික ප්‍රතිසංස්කරණ සහ ඒකාබද්ධ ළමා ආරක්ෂණ යාන්ත්‍රණයකි.
දරුවන්ගේ ආරක්ෂාව යනු, දේශපාලන ප්‍රදර්ශනයක් නොවිය යුතුය. මාධ්‍ය අවධානයට පමණක් සීමා වූ ප්‍රතිචාරයක් නොවිය යුතුය. එක් සිද්ධියකින් තවත් සිද්ධියක් දක්වා පමණක් සක්‍රීය වන තාවකාලික උනන්දුවක් නොවිය යුතුය.
එය ස්ථාවර, නීතිමය පදනමක් සහිත, ප්‍රමාණවත් සම්පත් සහ වගවීමේ යාන්ත්‍රණ සහිත ජාතික පද්ධතියක් විය යුතුය.
අද අවශ්‍ය වන්නේ, ළමා ආරක්ෂණය සඳහා නිල වශයෙන් පිහිටුවන ලද ඒකාබද්ධ ජාතික යාන්ත්‍රණයකි. ආයතන අතර පැහැදිලි කාර්යභාර සහ වගකීම් බෙදාහැරීමකි. කඩිනම් ප්‍රතිචාර සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියකි. නඩු ප්‍රගතිය සහ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ වගවීමේ රාමුවකි. එසේම මහජනතාවට ලබාදෙන නිත්‍ය ප්‍රගති වාර්තාවකි.
ජනතාවට අවශ්‍ය හැඟීම් බර ප්‍රකාශ නොවේ...
දරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන්නේ හැඟීම්බර ප්‍රකාශ නොව, ක්‍රියාකාරී ආයතනික ව්‍යුහයන් ය. කොටහේනේ සිට අනුරාධපුරය දක්වා ගත වූ දින 375 අපට උගන්වන පාඩම වන්නේ, ළමා ආරක්ෂාව පිළිබඳ පොරොන්දු ප්‍රමාණවත් නොවන බව සහ ඒ පොරොන්දු ක්‍රියාත්මක කළ යුතුය යන්න ය.
තවත් සිද්ධියක් සිදුවන තෙක් බලා සිටීම පිළිගත නොහැකිය. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටකට තිබිය යුතු අවම වගකීම වන්නේ, දුක්බර සිදුවීම්වලින් පසුව ශෝකය ප්‍රකාශ කිරීම නොව, ඒවා නැවත සිදුවීම වැළැක්විය හැකි ශක්තිමත්, වෘත්තීය සහ වගවිය හැකි ආයතනික පද්ධතියක් ගොඩනැගීමයි.
කොටහේනේ සිද්ධියේ සිට අනුරාධපුර ළමා අපචාරය එලිදරව්ව දක්වා ගෙවුණු කාලය දින 375කි. එතැන් පටන් මේ වන විට ගෙවී ඇති සම්පූර්ණ කාලය මාස 14 කි. එය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කාලයකි. දැන් අවශ්‍ය වන්නේ තවත් පොරොන්දු නොව, ක්‍රියාත්මක වන යාන්ත්‍රණයකි.
සුනිල් ගාමිණී ජයලත්ගේ ✍️
( උපුටා ගැනීම Jayalatge Sunil Gamini ගේ FB පිටුවෙනි.)

