යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, අඛණ්ඩ පරීක්ෂණයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ පුහුණුව ලැබීමට අදාළව සිදු වූ ක්‍රියාවළිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව කොමිසම විසින් නිකුත් කරන ලද සිතාසියකට ප්‍රතිචාර වශයෙන්, ඔහු අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණ සිටියේය.
මේ අතර මෙම සිදුවීමට අදාළව එවක නාවික හමුදාපතිවරයා ලෙස සේවය කළ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන අය ද අද දින අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණ නමුත්, ඔහු පවසා ඇත්තේ, කැඳවීමට අදාළ ලිපිය තමන්ට ලැබී නොමැති බවයි.
ඒ අනුව, වසන්ත කරන්නාගොඩට ලබන සතියේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.
අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අනුව, යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදීමේදී සපුරාලිය යුතු මූලික සුදුසුකම් සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇතැයි හෙළිවී ඇත. නාවික හමුදාවට බඳවා ගන්නා කෙඩෙට් නිලධාරියෙකු උසස් පෙළ විභාගය ජීව විද්‍යා හෝ ගණිතය විෂය ධාරාවෙන් සමත් වී තිබිය යුතුය.
යෝෂිත රාජපක්ෂ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ කලා විෂය ධාරාවෙනි. ඒ හේතුව නිසා යෝෂිත රාජපක්ෂව අදාළ තනතුරට බඳවා ගැනීම සඳහා සුදුසුකම් සංශෝධනය කර නැවත දැන්වීම් පළ කර බදවා ගැනීමට කටයුතු කර ඇති බව කොමිසම විසින් කළ විමර්ශනයේදී හෙලිවී තිබේ.
මීට අමතරව බඳවා ගැනීම සිදුකරන අවස්ථාවේ දී සාමාන්‍ය පෙළ සුදුසුකමක් සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් තිබී ඇති අතර, යෝෂිත රාජපක්ෂගේ සුදුසුකම්වලට සමාන වන ආකාරයෙන් එය ද සංශෝධනය කර ඇති බවට කොමිසම විසින් කරන ලද විමර්ශනයේ දී හෙළි වී ඇත.
මේ සියළු වෙනස්කම් සිදු කරමින් නාවික හමුදාවට බඳවා ගෙන ඇති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ 2007 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් වසර එක හමාරකට අධික කාලයක් බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලබා ඇත්තේ රජයේ වියදමින් ය.