මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

කඩා වැටෙන අධිකරණයට අපි "සූරසේන මුක්කුව" ගහමු.....

ලියුවේ Admin
කඩා වැටෙන අධිකරණයට අපි "සූරසේන මුක්කුව" ගහමු.....

"සුරසේන වැටුණොත් අධිකරණයද ඔහු සමග වැටෙනු ඇත. " මේ ප්‍රකාශය සඳහන් වන්නේ එක්තරා වෙබ් අඩවියක පළකර තිබූ ලිපියක ය. මෙය අනාවැකියක් ද නො එසේනම්, පුරෝකථනයක් ද යන්න නොදනමි.

එහෙත් මෙම ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව මේ වනවිට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු යොදමින් සිටින නිසා ය.

ආණ්ඩුව කියන්නේ මේ සංශෝධනය, අධිකරණයේ කාර්‍යක්ෂමතාවය වැඩි කිරීම සඳහා වූ උත්සාහයක් මිස යම් පුද්ගලයෙක්ව යම් ධූරයක රඳවාතබා ගැනීම ඉලක්ක කොට ගෙන එන එකක් නොවන බවය.

අධිකරණයේ කාර්‍යක්ෂමතාවය වැඩි කිරීමට නම්...

මෙම සංශෝධනය අධිකරණයේ කාර්‍යක්ෂමතාවය වැඩි කිරීම සඳහා වූ උත්සාහයක් පමණක් නම්, අනාගත පත්වීම් සඳහා පමණක් බලපැවැත්වෙන සේ නීතිය වෙනස් කිරීම (Prospective Application) එනම්, පනත සම්මත වූ දිනට පසු අලුතින් පත්වන විනිසුරුවරුන්ට පමණක් මෙය අදාළ බවට වගන්තියක් ඇතුළත් කිරීම කළ හැකිය.

එවිට, වත්මන් කිසිදු විනිසුරුවරයෙකුට මෙයින් පෞද්ගලික වාසියක් නොලැබෙන බැවින් වත්මන් ආණ්ඩුවට එල්ලවන දේශපාලන බලපෑම් පිළිබඳ චෝදනාව සම්පූර්ණයෙන්ම නැති වී යනවා පමණක් නොව අධිකරණයේ ස්වාධීනත්වය ද සියයට සියයක් සුරැකෙයි.

විපක්ෂයේ ඉන්නේ සුදනෝ ද ?.....

අධිකරණයේ ස්වාධීනත්වය ගැන දේශනා පවත්වන්නට මේ වනවිට ඉදිරියට පැමිණි සිටින ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් කවුරුන්ද යන වග ලාංකීය ජනතාව හොඳින් දනිති. 1972 සිට 2024 දක්වාම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ හැකි උපරිම බලපෑම් එල්ල කර ඇත්තේ ඔවුන් ය. ඒ නිසා ඔවුන් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කිරීමට තරම් සුදනෝ නොවෙති.  එය පොදුවේ සමාජයම පිළිගන්නා කාරණයකි.

පාර්ලිමේන්තුව මගින් පනවන නීතිවල ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කිරීමේ බලය (Judicial Review) අධිකරණයටඅහිමි කරමින්, 1972 දී පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතියේ සිට  2018 ඔක්තෝබර් මාසයේදී එවකටජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය දක්වා වූ සියලු උත්සාහයන් අධිකරණයේ ස්වාධීනත්වයට කළ බලපෑම් ය.

2023 සහ 2024 යන වසර වලදී අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ තීන්දු නොතකා පාර්ලිමේන්තුවේ දී හැසිරුණු ආකාරය කිසිවෙකුට අමතක නැත. ඒ නිසා විපක්ෂයේ වත්මන් විරෝධය වෙනත් අරමුණක් සඳහා වූ කපටි කෛරාටික කමක් බව පැහැදිලි ය.

විපක්ෂය විසින් වත්මන් සංශෝධනයට එරෙහිව මතු කරන විරෝධ තුළ පවතින කරුණු කොතරම් සත්‍ය වුවත්, එම විරෝධයේ අව්‍යාජ බවක් දකින්නට කිසිවෙකුට නොහැක. නමුත්  විපක්ෂයේ විරෝධය අව්‍යාජ වු පමණින්ම මෙම සංශෝධනය සදාචාර සම්පන්න යැයි ද කිසිවෙකුට තර්ක කළ නොහැක.

ආණ්ඩුව අපේක්ෂා කරන මූලික අරමුණ ?..

මෙම සංශෝධනය මගින් ආණ්ඩුව අපේක්ෂා කරන මූලික අරමුණ ආණ්ඩුව විසින් සෘජු ලෙස ප්‍රකාශ නොකළත්, ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ටම පාහේ අරමුණ කුමක් ද යන්න පිළිබඳව යම් සවිඥානික භාවයක් තිබේ. ඊට හොඳම නිදසුන වන්නේ, මෙම ලිපියේ පළමු ඡේදයේ සඳහන් වන වෙබ් අඩවියේ තිබූ ප්‍රකාශයයි. එනම් අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනව තව වසර දෙකක් එම ධූරයේ තබා ගැනීමයි.

රට විනාශයට පත් කළ දේශපාලකයන් නීතිය ඉදිරියට පමුණවා, ඔවුන්ට එරෙහිව ලබාදිය හැකි උපරිම නීත්‍යානුකූල දඬුවම් ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. ජනතාව මේ රජයට බලය ලබාදුන් ප්‍රධානම කරුණ වූයේ ද එයයි. ඒ පිළිබඳව කිසිදු පැටලැවිල්ලක් කිසිවෙකුට තිබිය නොහැකි බව පැහැදිලි ය.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අධිකරණය කාර්‍යක්ෂම කිරීම කළ යුතුය.  ඒ ගැන ද කිසිවෙකුට විවාදයක් නැත. නමුත් එය සිදු කළ යුත්තේ, මේ ආණ්ඩුව බලයට එන්නට පෙර 1972 සිට 2024 දක්වා බලයේ සිටි පාලකයන් විසින් කළ මුග්ධ ආකාරයට නොවේය යන්න යහපත් රාජ්‍ය පාලනයක් අපේක්ෂා කරන සියල්ලන්ගේම බලාපොරොත්තුව ය.

සැකය අවම කිරීමට අවශ්‍ය නම් ......

නීතිමය හා ව්‍යවස්ථාමය දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට හානි කරනවාය යන සැකය අවම වන ආකාරයෙන් සැලසුම් කළ හැකිය. මෙහි ප්‍රධාන අදහස වන්නේ, සංශෝධනයෙන් යම් පුද්ගලයෙකුට හෝ දැනට ධුරයේ සිටින නිනිසුරුවන්ට විශේෂ වාසියක්  නොලැබෙන බව පැහැදිලි කිරීමය.

මේ සඳහා භාවිතා කළ හැකි ක්‍රම කිහිපයක් තිබේ . අනාගතයට පමණක් බලපාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ඉන් එකකි. එවැන්නකින් මෙම සංශෝධනය ' පුද්ගලයන් සඳහා නොව ආයතන සඳහා නීතියක්' යන මූලධර්මය ශක්තිමත් කරයි.

ස්වාධීන කොමිෂන් සභාවක නිර්දේශ මත කටයුතු කිරීම තවත් යහපත් ක්‍රියාවකි. මේ යටතේ, විශ්‍රාම වයස වෙනස් කිරීම සඳහා නීති විශේෂඥයන් , විනිසුරුවන් සහ සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළත් ස්වාධීන කමිටුවක වාර්තාවක් පදනම් කර ගත හැකිය.

විශාල ව්‍යවස්ථා වෙනස්කමක් සිදු කිරීමේදී මහජන විශ්වාසය වැඩි කර ගැනීම සඳහා, පාලක පක්ෂය පමණක් නොව විපක්ෂය සමඟ ද සාකච්ඡා කිරීම යහපත් ක්‍රියා මාර්ගයකි.

එසේම පැහැදිලි හා වෛෂයික හේතු ඉදිරිපත් කිරීම වැදගත්ය. උදාහරණයක් ලෙස නඩු ප්‍රමාදය, විනිසුරුවන්ගේ හිඟය, ආයු අපේක්ෂාව වැඩිවීම වැනි දත්ත මත පදනම් වූ හේතු ඉදිරිපත් කළ යුතුය.

එවැනි ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් මෙය දේශපාලන වාසියක් සඳහා නොව, අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණයක් සඳහා ගත් තීරණයක්  බව පෙන්වීම  වඩාත් පහසු වේ. ඒ නිසා, නීතියේ අන්තර්ගතය පමණක් නොව, එය සකස් කරන ආකාරය, ක්‍රියාත්මක කරන කාලය සහ. ක්‍රියාපටිපාටිය ද මහජන විශ්වාසයට ඉතා වැදගත් වේ.

සැක මතු වීමේ අවදානම වැඩි වන හැටි...

රජයක් ප්‍රමාණවත් සාකච්ඡාවකින්, පැහැදිලි හේතු දැක්වීමකින් සහ විනිවිදභාවයකින් තොරව මෙවැනි සංශෝධන සිදු කළ හොත්, එය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සැක මතු වීමේ අවදානම වැඩි කළ හැකිය.

වත්මන් ආණ්ඩුව තමන් පෙර පැවති ආණ්ඩුවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන බව බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කර ඇත. එසේ නම් එවැනි ආණ්ඩුවල යහපත් පාලනයේ මූලධර්මය වන්නේ නීති  සකස් කළ යුත්තේ "හොඳ ආණ්ඩුවක්" සඳහා නොව, "අනාගතයේ ඕනෑම ආණ්ඩුවක්" සඳහාය.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ බලය, ප්‍රමාණවත් ආරක්ෂණ ක්‍රම නොමැතිව රජයකට ලබා දෙනවා නම්, අනාගතයේ වෙනත් ආණ්ඩුවක් එම පූර්වාදර්ශය භාවිතා කර තමන්ට වාසිදායක ලෙස විනිසුරුවන් ධුරයේ තබා ගැනීමට හෝ පුරප්පාඩු ප්‍රමාද කිරීමට උත්සාහ කළ හැකිය.

අඩු ප්‍රජාතනත්‍රවාදී පාලකයෙක් ආවොත්....

එම නිසා ව්‍යවස්ථානකූල ආයතන සැලසුම් කිරීමේදී, අද සිටින පාලකයන්ගේ යහපත් අරමුණු පමණක් නොව, අනාගතයේදී අඩු ප්‍රජාතනත්‍රවාදී පාලකයෙකුට එම බලය අයුතු ලෙස භාවිතා කළ හැකි ද යන්නත් සලකා බැලීම වැදගත්ය.

ආයතනය ගොඩනැගිය යුත්තේ පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තබා නොව, බලය භාවිතා කිරීම සීමා කරන  නීතිමය ආරක්ෂණ මතය යන ව්‍යවස්ථා න්‍යායේ ප්‍රසිද්ධ අදහස සමඟ මෙය ගැලපෙනු ඇත.

අද සිටින ආණ්ඩුව විශ්වාසදායකද? යන්නට වඩා, මෙම නීතිය අනාගතයේ ඕනෑම  ආණ්ඩුවක් යටතේත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවාද? යන ප්‍රශ්නය ව්‍යවස්ථාමය වශයෙන් වඩාත් වැදගත්ය.

ලාල් විජේනායක නරකයි, හරිනි හොඳයි...

2016 දී ශ්‍රී ලංකාවේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය වෙනුවෙන් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා වූයේ නීතිඥ ලාල් විජේනායක මහතාය.

ලාල් විජේනායක සමඟ එම කමිටුවේ සිටි මුළු සමාජිකයන් ගණන 18 කි. වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ද එහි එක් සමාජිකයෙකි. මෙම කමිටුව 2016 වසරේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි මහජනතාව, සිවිල් සංවිධාන සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගෙන් අදහස් ලබාගෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය අවසන් වාර්තාව රජයට භාර දෙන ලදී.

නමුත්, 2018 වසරේ ඇතිවූ දේශපාලන අර්බුදය (දින 52 ආණ්ඩුව) සහ පසුව 2019 වසරේ සිදුවූ ආණ්ඩු පෙරළියත් සමග 2015-2018 කාලසීමාවේ දියත් වූ සමස්ත නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියම ඉදිරියට කරගෙන යාමට නොහැකි වී අත්හිටුවිනි.

2016 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී යෝජනා වූ අධිකරණ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ක්‍රියාවලියත්, පසු කාලීනව සහ වත්මන් පාලන තන්ත්‍රයන් යටතේ සිදුකරන්නට උත්සාහ කරන එවැනි සංශෝධනයන් අතරත් ක්‍රමවේදමය, නීතිමය සහ සදාචාරාත්මක වශයෙන් කැපී පෙනෙන වෙනස්කම් සහ අඩුපාඩු ගණනාවක් පවතින බව නීතීඥ ලාල් විජේනායක මහතා මෙන්ම වත්මන් අගමැති හරිනි අමරසූරිය ද හොඳින් දනී.

නීත්‍යානුකූල වූ පමණින් සදාචාරාසම්පන්න වෙනවා ද?

වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උත්සාහය නීත්‍යානුකූලදැයි ඇසුවොත් ඊට දිය හැකි පිළිතුර ඔව් යන්නය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ 3/2 ක විශේෂ මෙහෙයුම් බහුතරයකින් (සහ අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනමත විචාරණයකින්) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුවකට පූර්ණ නීතිමය බලතල ඇත.

නමුත් එම උත්සාහය සදාචාර සම්පන්න දැයි යමෙක් ඇසුවොත් ඊට දිය හැකි පිළිතුර වන්නේ නැත යන්නය. නීත්‍යනුකූල වූ පමණින් සෑම ක්‍රියාවක්ම සදාචාරාත්මක නොවේ. ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයේ විශ්‍රාම වයස වෙනස් කිරීමේදී සදාචාරාත්මක ගැටලු මතුවන්නේ, වත්මන් අගමැති හරිනි අමරසූරිය එවකට කමිටු සාමාජිකයෙක්ව සිටි 2016 දී අනුගමනය කළ ක්‍රියාපිලිවෙතවත් මෙහිදී දක්නට නොමැති නිසා ය.

වසන් කළ නොහැකි සත්‍යය....

මා මුලින් සඳහන් කළ ආකාරයට මෙම සංශෝධනයේ මුඛ්‍ය අරමුණ ප්‍රීති පද්මන් සූරසේනව අග්‍රවිනිශ්චයකාර තනතුරේ තව වසර දෙකක් තබා ගැනීම බව වසන්පකළ නොහැකි සත්‍යය ය.  ඒ සඳහා වත්මන් ආණ්ඩුව සදාචාරය බල්ලාට දමමින්  නීත්‍යානුකූලව කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගෙන සිටින බව පැහැදිලිය.

ආණ්ඩුව එය සෘජුව ප්‍රකාශ නොකළාට ආණ්ඩුව වෙනුවෙන් ලියන කියන අය මේ වන විට එය ඍජු ලෙස අමුවෙන් කියා ඇත.  පළමු  ඡේදයේ සඳහන් කර ඇති ප්‍රකාශය අනුව, අධිකරණයේ සියලු බලාපොරොත්තු සපල කරන එකම පුද්ගලයා සූරසේන බවට පත් කොට ඇත.  ඔහු වැටුණොත් අධිකරණයද වැටෙන බව ටක්කයටම කියා ඇත්තේ ඒ නිසා ය.

ලෙඩක් දුකක් , විපතක්, අතුරු ආන්තරාවක් ඇති නොකොට  සූරසේනව චිරාත් කාලයක්ආ රක්ෂා කර දෙන මෙන් ශ්‍රී ලාංකික ජනතාව, තිස්තුන් කෝටියක් දෙවියන් ලඟ වැඳ වැටී කන්නලව් කළ යුතුය. සූරසේන වැටුණොත් අධිකරණය ඉවරය.

ආවඩා ආයුබෝවේවා...!

රයිගම් කංකානම්ලාගේ අංජන ✍️

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…