නගරං සභාවක් අවශ්‍ය නැත...

හුටපටය ඇති වූයේ අම්බලන්ගොඩ නගර සභා රැස්වීමේදීය. එහිදී නගර සභාවේ සභාපති අසේල ගොඩහේවාට එරෙහිව එජාපය නියෝජනය කරන ජනිත් වික්‍රමතිලක මන්ත්‍රීවරයා චෝදනා කරන ලද්දේ සභාපතිවරයා විසින් අම්බලන්ගොඩ, පාතාලයට ගෙන ගොස් බවටය.
ඒ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයකි.
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති වරයා ජාතික ජනබලවේගය නියෝජනය කරන්නෙකි. ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍රීය කර ගත් දේශපාලන බලවේගයකි. ජනිත් වික්‍රමතිලක මන්ත්‍රීවරයා සභාපතිවරයා වෙත එවැනි චෝදනාවක් කරන්නට ඇත්තේ ජවිපෙ දේශපාලන ඉතිහාසය හිතේ තියාගෙන විය හැකිය.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ප්‍රවේශවී අවුරුදු තිහ හතලිහක් ගෙවී තිබේ. ගෙවී ගිය ඒ කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ක්‍රියාකාරිකයකු අම්බලන්ගොඩ නාගරික බල සීමාව තුළ හෝ ඉන් පිටත හෝ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළදී සිදු කරන ලද පෝරිසාද වැඩක් මෙතෙක් වාර්තා වී නැතැයි ජනිත් වික්‍රමතිලක මන්ත්‍රීවරයා නොදන්නවා නොවේ.
ජේ ආර් ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් මෙරට භෞමික අඛණ්ඩතාව කම්පනය කරවමින් ඉන්දියාාව සමග ගිවිසුම් අත්සන් කරද්දී, රට තුළ ඇතිවූ මහජන උද්ඝෝෂණ අස්සේ අම්බලන්ගොඩ බස් ඩිපෝව ගිණි තැබුවේ කවුරුන්ද යන වග අලියා ලකුණ ජනිත් වික්‍රමතිලක මන්ත්‍රීවරයා නොදන්නවා වෙන්නට බැරි නැත.
ඒ බස් ඩිපෝවට ගිණි තැබුවේ සිය පෞද්ගලික බස් ව්‍යාපාරය ගොඩ දා ගැනීම සඳහා වූ යටි සැළසුමකට ක්‍රියාත්මක වූ එවකට පැවැති ආණ්ඩුවේම පාතාලයන්ය.
අම්බලන්ගොඩ ජවිපෙ සංවිධායක වරයාව සිටි ගංඟා සහොදරයාගේ අත පය කඩා දැමුවේද අලියා මාක් පාතාලයෙනි. ඒ කවුරුන්ද? එම පාතාලයාගේ දේශපාලන පවුල් පසුබිම කුමක් ද යන්න ජනිත් වික්‍රමතිලක මන්ත්‍රීවරයා දනී.
අලියා ලකුණින් බැහැරව රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තුළදී අම්බලන්ගොඩ කම්පනයට පත් කරන ලද දේශපාලන පාතාලය ගැනද ජනිත් වික්‍රමතිලක මන්ත්‍රීවරයා අමතක වී තිබේ. ඒ දින වල පාතාලයට එරෙහිව කටක් නෑරිය ජනිත් වික්‍රමතිලක මන්ත්‍රීවරයාට දැන් බයක් හැකක් නැතුව දේශපාලනය කරන්නට පසුබිම නිර්මාණය වී තිබේ.
ඒ කෙසේ වෙතත් අම්බලන්ගොඩ ජනතාව විසින් නගර සභාවට මහජන නියෝජිතයන් පත් කර ඇත්තේ මල්ලව පොර ඇල්ලීමට නොවේ. ජනතාවට පක්ෂ පාට අදාළ නොවේ. නගර සභා පනත හරියටම කියවා ගත හොත් එහි විපක්ෂ කණ්ඩායම් ගැන සඳහනක් පවා නැත.
නගර සභාව නියෝජනය කරන නියෝජිතයන්ට මල්ලව පොර හා බොක්ෂිං ක්‍රීඩා කිරීමට කැමැත්තේ නම්, නගර සභා පිට්ටනියට බැස ඒ සංදර්ශනය පැවැත්වූයේ නම් හොඳ ආදායමක්ද උපයා ගන්නට පුළුවන.
නගරයේ ජනතාවගේ අපේක්ෂාව නගරයේ සුභ සිද්ධියයි. එහිදී නාගරිකයන්ට අරූ මූගේ දේශපාලනය අදාළ නැත. ඒ නිසාම නගර සභාව නියෝජනය කරන උපාසක උපාසිකාවන් පළමුව ජනතාව ගැන සිතා නගර සභා රැස්වීමේදී පාට දේශපාලනය ඉවත දමා නගර සභා පනතේ සඳහන් අරමුණු හා අපේක්ෂාවන් ඉටු කරන්නේ නම් ඉතා හොඳය.
මේ සෑම දෙනාම 255 අධිකාරිය වන නගර සභා පනතේ 4 හා 5 වන වගන්ති වල මෙසේ සඳහන් වී ඇති බව සිහිපත් කර ගත යුතුය.
4. එක් එක් නගරය සඳහා සංසථාපිත නගර සභාව, මේ ආඥා පනතින් හෝ වෙනත් යම් ලිඛිත නීතියකින් වෙනත් යම් අධිකාරියකට වෙන් කොට දෙන ලද හෝ සතු කරන ලද බලතල වලට යටත්ව නගරයේ මහජන සෞඛ්‍ය , මහජන උපයෝගී සේවා , සහ පොදු මං මාවත්, පිළිබඳ සියලු කරුණු නගරයේ සීමා තුළ විධිමත් පාලනය කිරීම සහ පරිපාලනය කිරීම, හා සාමාන්‍යයෙන් ජනතාවගේ සුඛ විහරණය, පහසුකම් හා සුබ සාධනය සහ නගරයේ සැප විහරණ ක්‍රම ආරක්ෂා කිරීම හා වැඩි දියුණු කිරීම භාර කරනු ලැබූ පලාත් පාලන ආයතනය විය යුතුය.
5(1) එක් එක් නගර සභාව සභාපතිවරයා ගෙන්ද උප සභාපතිවරයාගෙන්ද ගැසට් පත්‍රයේ පල කරනු ලබන නියමයන් මගින්
අමාත්‍යවරයා නියම කරනු ලැබූ යම් සංඛ්‍යාවකින් යුක්ත වන අනෙකුත් සභිකයන්ගෙන්ද සමන්විත යුතුය.
ස්වස්ති සිද්ධම්...