පොලීසිය බල්ලා මාක් එකට ඇද දැමූ පරණ නිළමක්කාරයෝ

ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස සේවය කළ ශානි අබේසේකර පසුගියදා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීම පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරන්නට විය. ඒ කතා බහ කළ පිරිස අතරින් ඇතැමුන් ගේ අදහස වූයේ, එම උසස්වීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ මැදිහත් වීම මත ලබා දුන් උසස්වීමක් බවය.
මේ අදහස තවදුරටත් දේශපාලනිකව සමාජය තුළ ස්ථාන ගත කරමින් ඔහුට විවිධ ආකාරයෙන් අපහාස හා නින්දා කරන ලද අයවළුන්ද සිටියේය. එහෙත් ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට නියෝග කරන ලද්දේ පරිපාලන විනිශ්චය අභියාචනා අධිකාරියයි.
පරිපාලන අධිකරිය ගත් එම තීන්දුව පසුගිය මැයි 13 වන දා ජාතික පොලිස් කොමිෂමට දැනුම් දී තිබුණි. එම නියෝගය පරිදි අගෝස්තු මස 25 වන දින සිට මෙම උසස්වීම ලබා දීමට නිර්දේශ කර තිබූ අතර වැඩ තහනමට ලක්වූ දින සිට මේ දක්වා අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ශානි අබේසේකර හට ගෙවිය යුතු වේ.
2000 වර්ෂයේදී ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන මාස 11 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව අභියාචනාධිකරණ නියෝගයකින් ඇප මත මුදා හැරිණි. කෙසේ වෙතත් 2024වර්ෂයේ 3/2018 චක්‍රලේඛය පදනම් කර ගනිමින් ඔහු නැවත සේවයේ පිහිටුවන ලද අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා ලෙස පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය යනු 2002 අංක 4 දරන පනත මඟින් පිහිටුවන ලද ආයතනයකි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ වෙනත් බලධාරීන්ගේ විනය ක්‍රියාමාර්ග, උසස්වීම් සහ ස්ථානමාරු තීරණවලට එරෙහිව රාජ්‍ය නිලධාරීන්ට අප්‍රසාදය පළ කරමින් අභියාචනා ඉදිරිපත් කළ හැකි ස්වාධීන (quasi-judicial ) අර්ධ අධිකරණමය ස්වභාවයක් ඇති ආයතනයකි.
කෙසේ වෙතත් ශානි අබේසේකර 2024 වර්ෂයේ නැවත සේවයේ පිහිටුවීම, ජාජබ ආණ්ඩුව පොලිස් සේවයට දේශපාලනිකව සිදු කරන ලද මැදිහත්වීමක් බව සඳහන් කරන්නන් පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසය හරි හැටි නොදන්නා බව පැහැදිලි ය.
1983 මාර්තු 08 වන දින පැවැති ජාත්‍යන්තර කාන්තා දිනයේදී පැවැත්වූ විරෝධතාවකදී ලංකා සම සමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධනට පහර දී නීති විරෝධීව අත්අඩංගුවට ගන්නා ලදී.
එම නීති විරෝධී අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තීන්දු කර, උප පොලිස් පරීක්ෂක ගනේෂනාදන් ඇතුළු පොලිස් වග උත්තරකරුවන් වැරදි කරුවන් කරමින් ඇයට වන්දි ගෙවන ලෙසට නියෝග කළේය.
අදාළ තීන්දුවෙන් පසු පොලිස් පරීක්ෂක ගනේෂනාදන් විසින් ගෙවිය යුතු වන්දි මුදල් හා නීතිඥ ගාස්තු රජයේ මුදලින් ගෙවා දැමීමට එවකට ජනපතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන පියවර ගත්තේය. එම වන්දි ගෙවීමට අමතරව අදාල සිද්ධියට වරදකරු වූ උප පොලිස් පරීක්ෂක වරයා පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමටද ජනපතිවරයා නිර්දේශ කෙරුවේය.
මේ තීන්දුව ලබා දුන් විනිසුරුවරුන් ගේ නිවාස වලට මැරයන් යොදා ගල් ගැස්සවීමටද ආණ්ඩුව ක්‍රියා කරන කළේය. එම මැරයන් මෙහෙයවන ලද්දේ බියගම මැතිවරණ කොට්ඨාශයේ පදිංචි ගෝනවල සුනිල් හා කලු ලකී නැමැත්තන් බව වාර්තා වී තිබේ. මේ මැරයන් දෙදෙනාම බියගම මැතිවරණ කොට්ඨාශයේ එවකට එජාප මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් වූහ.
කලු ලකී විවාහ වන විට ඔහුගේ පාර්ශව යේ සාක්ෂිකරු වී ඇත්තේද රනිල් වික්‍රමසිංහය. සිය ඇවැස්ස මාමා වූ ජනපතිවරයාගේ දේශපාලන බලයට අධිකරණය වෙතින් සිදු වූ බලපෑම ගැන සිත් රිදුන රනිල් වික්‍රමසිංහ බෑණා, අධිකරණයට පාඩමක් කියා දුන්නේ ඒ විදියටය. අධිකරණය බිය වැද්දීම සඳහා ඒ කැත හා අශීලාචාර මැදිහත්වීම සිදු කළ රනිල් වික්‍රමසිංහ වර්තමානයේදී අධිකරණයේ "කන්‍යා භාවය" ආරක්ෂා කළ යුතු යැයි විලාප නැගීම ගැන හිනාවෙන්නට හැක්කේ අධෝ මුඛයෙන් පමණි.
ජේආර් ගෙන් පසුව මෙරට බලයට පත් රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාගේ ධුර කාලයේදීද ආණ්ඩුව දේශපාලනිකව පොලීසිය හැසිරවීම සිදු කෙරුවේය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී (1989-1993) ශ්‍රී ලංකා පොලිස් සේවය කෙරෙහි දැඩි දේශපාලන බලපෑමක් සහ පාලනයක් පැවති අතර, එය රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක වීමේ ස්වාධීනත්වයට විශාල ලෙස බලපෑවේය.
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දෙවන නැගී සිටීම සහ එල්.ටී.ටී.ඊ. (LTTE) තර්ජන හමුවේ පොලීසිය දැඩි ලෙස දේශපාලන අධිකාරියේ පාලනයට යටත් කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටත ක්‍රියාත්මක වූ නිල නොවන සන්නද්ධ කණ්ඩායම් (Black Cats, Yellow Cats වැනි) සඳහා පොලිස් අනුග්‍රහය සහ රැකවරණය ලැබුණු බවට චෝදනා එල්ල විය.
පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්, ස්ථාන මාරුවීම් සහ පත්වීම් පූර්ණ වශයෙන් දේශපාලන හිතවත්කම් මත සිදුවිය. ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ තීරණ ප්‍රශ්න නොකර ක්‍රියාත්මක කළ නිලධාරීන්ට විශේෂ වරප්‍රසාද සහ උසස්වීම් හිමි විය.
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය වැනි සිදුවීම්වලදී උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධ වූ බවටත්, එම පරීක්ෂණ දේශපාලන බලපෑම් මත යටපත් කිරීමට උත්සාහ කළ බවටත් තදින්ම චෝදනා නැගිණි. එහිදී විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් සහ විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා පොලිස් බලය උපරිමයෙන් යොදා ගැනිණි.
සිය ආණ්ඩුවට පක්ෂාපාතී නැති බවට චෝදනා කරමින් ප්‍රේමදාස ජනපතිවරයාගේ කාලයේදී පොලිස් ඡ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්ම විශ්‍රාම ගන්වන ලදී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලියෝ පෙරේරා, ඩබ්. බී. රාජගුරු, තිලක් ඉද්දමල්ගොඩ, එම්. එම්. කේ. වික්‍රමසූරිය ධර්මදාස සිල්වා, බී. එල්. වී. ද එස්. කොඩිතුවක්කු සහ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධර්මසිරි වීරකෝන් ඒ නිළධාරීන් අතර විය.
අනතුරුව මෙරට බලයට පත්වූ චන්ද්‍රකා බණ්ඩාරනායක ජනපතිවරියගේ ධුර කාලයේදී ද විශ්‍රාම ගොස් සිටි එම පොලිස් නිළධාරීන් නැවත සේවයට බඳවා ගත් බව වාර්තා වී තිබේ. මේ නැවත බඳවා ගත් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සිටි ඩබ්. බී. රාජගුරු 1995 වර්ෂයේදී පොලිස්පති වරයා ලෙස පත් කෙරිණි. ඒ අතරේම බැද්දගාන සංජීව නම් පාතාල ක්‍රියාකාරිකයකු උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස බඳවා ගෙන ඔහු ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කිරීමට ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කටයුතු කෙරුවාය.
ජනාධිපති මහින්ද රාජපක්ෂද තමන්ට ඕනෑ විදියට පොලිස් දෙපාර්තමේන්තු කාඩ් කූට්ටම ඇණුවේය. ඔහු බලයට පත් වීමට පෙර පොලිස් දෙපාර්තමේන්තුවට සෘජුව සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගත්තේ 10 දෙනෙකුටත් අඩු සංඛ්‍යාවකි.
එහෙත් ජනපති මහින්ද රාජපක්ෂ සහකාර පොලිස් අධිකාරී වරුන් 40 කට ආසන්න සංඛ්‍යාවක් එකවර බඳවා ගැනීමට කටයුතු කෙරුවේය. මේ සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස බඳවා ගත් බොහෝ දෙනා නාමල් රාජපක්ෂ ගේ නිල් බලකායට සම්බන්ධව ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවන්ය. නර්තනය සඳහා උපාධිය ගත්තන්ද ඒ අතර විය.
මහින්ද රාජපක්ෂගේ අපේක්ෂාව වූයේ සිය පුත්‍රයා මෙරට ජනපති ධුරයට පත් වන විට මෙරට පොලීසියේ ඡ්‍යෙෂ්ඨ තනතුරුවල රාජපක්ෂ පවුලට හිතවත් පිරිසක් සිටීම මිස අන් යමක් නොවේ. කෙසේ වෙතත් ඒ හිතවත්කම් තවමත් පවතින බව නම් සඳහන් කළ යුතුය.
දේශපාලනික පලි ගැනීම් වලට ලක් වූවන් බව සඳහන් කරමින් කැබිනට් මණ්ඩලයෙන් උසස් වීම් ලබා දී ඇත්තේ යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහය. මේ සඳහා අගමැතිවරයා විසින් යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩ සටහන යටතේ පී. එම්. ඕ. /06/3/සී එම්/15 /2015 දරණ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ පොලීසියේ අසාධාරණයට ලක් වූවන් සියයකගේ නාම ලේඛනයක්ද සමගය.
එම නාම ලේඛනය සංශෝධනය කරමින් එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක 2016 ජුනි 14 දින පොලිස් නිළධාරීන් 129 දෙනෙකුගේ නාම ලේඛනයක් සහිතව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබා ගෙන තිබේ. එහි හොඳම විහිළුව වන්නේ දේශපාලන පලි ගැනීම් වලට ලක් වූවන් යැයි එම කැබිනට් පත්‍රිකාවෙි සඳහන් පොලිස් නිළධාරීන් බොහෝ දෙනා ඊට පෙර රාජපක්ෂ ආණ්ඩුවෙන්ද වරප්‍රසාද හිමි කර ගත් අයවළුන් වීමය.
මේ ලේඛනයේ මුලින්ම නම සඳහන් වූයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානී රංජිත් පෙරේරාගේ නමය. ඔහුගේ නියෝජ්‍ය පොලිස්පති ධුරය 2012 වර්ෂයේ පෙබරවාරි 17 වැනිදා සිට ලබා දිය යුතු බවට කැබිනට් පත්‍රිකාවේ සඳහන් වුවද, ඔහුට නියෝජ්‍ය පොලිස්පති ධුරය සේම විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ධුරය ලබා දී තිබුණේ ඊට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුවෙනි.
මෙම ලේඛනයේ උසස්වීම් නිර්දේශ කර තිබූ සමන් සිගේරා යනු මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් චෝදනා එල්ල වී වැඩ තහනම් කර සිට අත් අඩංගුවට පත් වී පසුව එම චෝදනා වලින් නිදහස් වූ අයෙකිය.
හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ඝාතනය කළ අවස්ථාවේ වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් ඇමතිවරයා ඝාතනය කරන ලද සැකකරුවන්ට උදව් උපකාර කරන ලදැයි චෝදනා ලද සිසිල් ද සිල්වා ද නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලෙස මේ ලේඛනයේ නම සඳහන්ව තිබුණි.
සේවයෙන් ඉවත්ව ගොස් සිටි අයද මෙම කැබිනට් පත්‍රිකාවෙන් උසස් කර තිබූ බව අනාවරණය වේ. 2000 වර්ෂයේදී පොලිස් උප සේවා පොලිස් පරීක්ෂක වරයකුව සිට ඉල්ලා අස් වී සිටි ඉසෙඩ්. එච්. රහුමාන් නැමැත්තා වසර 10 ක් පමණ අක්කරේපත්තුව ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයකුව සිට තිබේ. එහෙත් ඔහු දේශපාලන පලි ගැනීමට ලක් වූ බව සඳහන් කර මේ කැබිනට් පත්‍රිකාවෙන් නැවත සේවයේ පිහිටුවා ඇත.
මේ ලේඛනයේ නම සඳහන්ව තිබූ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී අයුබ්ඛාන් නැමැත්තා හම්බන්තොට නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කළ විපක්ෂ නායකවරයාව සිටියදී ඔහු නැවත සේවයේ පිහිටුවා, 2016 වසරේ සිට පොලිස් අධිකාරී ස්ථිර තනතුරේ සේවයේ පිහිටුවා තිබේ.
මේ අතර හිටපු උප පොලිස් පරීක්ෂක වරයකුව සිට, ඒ වන විට ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස කටයුතු කළ රංඟ බණ්ඩාර, 2000 අගෝස්තු 27 වන දින සහකාර පොලිස් අධිකාරී ධුරයේ පිහිටුවා තනතුරේ ස්ථිර කර එදිනම විශ්‍රාම ගන්වන ලෙසටද නිර්දේශ කර තිබුණි. රංගෙ බණ්ඩාර නැවත සේවයේ පිහිටුවීමට නිර්දේශ කර නැත්තේ ඒ වන විටත් ඔහු විසින් දරන ලද අමාත්‍ය ධුරය නිසාය.
පරිපාලන විනිශ්චය අධිකාරියේ තීන්දුවකට නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් වූ ශානි අබේසේකර පිළිබඳව ආණ්ඩුවට චෝදනා කරමින් කිඹුල් කඳුළු හෙලන බොහෝ දේශපාලන පැංචන් ගේ හා පැංචියන්ගේ දේශපාලන නායක කාරකාදී ආච්චිලා සීයලා මාමලා බලයේ සිටියදී සිදු කරන ලද කුජීත වැඩ ඔන්න ඔහොමය.
කෙසේ වෙතත් එවුන්දැලා ගෙදර බල්ලාට පොලිස් යුනිෆෝම් ඇන්දුවේ නැති එක ගැන නම් ස්තූතිවන්ත විය යුතුය. ඒත් පොලීසිය බල්ලා මාක් එකට දැම්ම එක නම් අමතක කරන්නටම නොහැකිය.
පව් ඕයි තවුසෙලා......
දක්ෂිණ ලියනාරච්චි ✍️



