මාටින් සිල්වා ගේ කයිවාරුව.....

මාටින් සිල්වා ඉඳහිට අපේ ගෙදරට යන එන මනුස්සයෙකි. උන්දෑගේ වයස හැට හැත්තෑවක් වෙන්නට පුළුවන.
ජාතික හැදුනුම්පතක් සන්තකයේ නැත.
ඉන්න තැන කියන්නේද නැත. මාටින් සිල්වා කියන විදියට අද එක තැනකය. හෙට තවත් තැනකය. කිසිම නෑයෙක් ගැන කියන්නේද නැත.
හචා බෑගයක දමා ගත් සබන් කෑල්ලක් දත් බුරුසුවක් සරමක් හා කමීසයක් ඔහුගේ දේපලය. අඳින්නේ පරණ ඩෙනිමකි. උඩු කයට අඳින ඇඟලුම කාගෙන් හෝ ලැබෙන ෂර්ටයක් හෝ ටී ෂර්ටයකි. ඒ සියල්ල කාගෙන් හෝ ලැබුණ ඒවා මිස මිලයට ගත්ත ඒවාද නොවේ. ඇවතුම් පැවතුම් හරිම සංවරය.
මාටින් සිල්වා ඔහු හඳුන්වා ගන්නේ සියල්ල අත් හැරිය අයෙකු ලෙසය. උන්දෑගේ ගේ අත්සන පවා මරුය. ඒ අත්සන තියන්නේ "මා" අක්ෂරය ලියා ඊළඟට 'ටින්" එකක රූපයක් ඇඳීමෙනි.
කතා බහකදී මාටින් සිල්වා ගෙන් බොහෝ අපූරු කතන්දර අහගන්නට පුළුවන. ඒ කතන්දර නහුතයක් මොළයට මරක්කල ගැට වැටෙන තරමේය. ඒවායේ ඇත්ත නැත්ත හාගිස්සන්ට වෙනම හැඩයෙන් හිතන්නට සිද්ධ වෙනවාය. බොරුව ඇත්ත නැත්ත ගිවිස්සා ගැනීම් මාටින් සිල්වාට අදාල නැත. උන්දෑගේ කියවිල්ල කෙළවර කරන්නේ අසන්නා අන්දුන් කුන්දුන් කරමිනි.
මාටින් සිල්වා සිය කතා බහට මාතෘකාව තෝරාගන්නේ අනෙකා ගේ රුචිකත්වය අනුවය. එය දේශපාලනය විය හැකිය. එසේත් නැතිනම් ඉතිහාසය වන්නටද ඉඩ තිබේ.ආගම ගැන වෙන්ටත් පුළුවන.මේ හැම විෂයකටම අදාලව මාටින් සිල්වාට තර්කයක් තිබේ. උන්දෑ තම අදහස විකාරයක් බව නොසිතෙන විදියට අනෙකා ශ්‍රාවකයෙක් කරගන්නට දක්ෂයෙකි.
උන්නැහේගේ කට කයිවාරුව අරඹන්නට ඇසිය යුත්තේ එකම එක ප්‍රශ්ණයක් පමණය. හරියට ඒ අයි තාක්ෂණයෙන් ප්‍රශ්ණයක් ඇසුවා වගේය. ඒත් මාටින් සිල්වා ගේ බණ කියන විට අතුරු ප්‍රශ්ණ වලට ඉඩක් නැත. ඕනෑ නම් හූමිටි තියන්නට ඉඩ ප්‍රස්ථාව පවතී.
මාටින් සිල්වා ඊයේ පෙරේදා දවසක ඉබාගාතේ අපේ ගෙදරට ගොඩ වැදුණේය. ආ ගිය තැන් අසා වැඩක් නැත.
වාඩි වී තේ උගුරක් බොන ගමනේ ඔහු මා කියවමින් සිට් පත්තරයට එබුණේය.
උන්දෑගේ දෙඇස් එල්ලය වුනේ "අපේ රටේ දරු උපත් සංඛ්‍යාව පහලට" බව කියවෙන තඩි අකුරු හෙඩිමකටය.
උන්දෑගේ කට ඇවිස්සෙන්න බයිටයට ඒ හෙඩිම හොඳටම සෑහේය. කියවිල්ල ඇරඹුණේ එතැන් සිටය.
හරි නේ මහත්තයා එහෙම වෙන්න එපායැ. අපි බෞද්ධයො නොවැ. මේ රටේ මිනිස්සු මැරුණම ස්වර්ගෙට යන්නෑ නොවැ. පින් කරපු ඇත්තො චතුර්මහාරාජිකය, තවුතිසාව, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මානරතිය වගේ දිව්‍ය ලෝක වල ඉපදෙනවා. ඔය දිව්‍ය ලෝක වලින් චුත වෙලා ආයෙ ඉපදෙන්න අවුරුදු තුන් හාරදාහක් ගෙවන්න ඕන නොවැ. අඩුම
ආයුෂ තියෙන දිව්‍ය ලෝකෙත් අවුරුදු පනහක් වගේ මට මතක හැටියට.
ඒක එහෙමම අල්ලල දාමුකො. පව් කරන වුන් හතර අපායට යනවා. නිරය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය කියන්නෙ ඒවට නේ. සෙල්ලම් නෑ මහත්තයො නිරය කිව්වම සංජීවය, කාල සූත්‍රය, රෞරවය,
මහා රෞරවය, තාපනය, ප්රතාපනය,
අවීචිය කියලත් අපායවල් තියෙනවනේ.
මේ රටේ කී ලක්ෂයක් ඕවයෙ ඇද්ද
මරු බඩු නේ දැනටත් මෙහෙ ඉපදිල ඉන්නෙ. මෙහෙ ඈයො දිහා බැලුවම ඔය අපායවල් වල මෙලහකට කොච්චර ඇද්ද අම්මපා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා මෙහෙ ඉපදෙන අයට වඩා අපායෙ විඳවන ගණන් හිලවු වැඩි ඇති.
ඊළඟට බ්‍රහ්ම ලෝක විස්සක් තියෙනවා. ඒවයෙ ඉපදෙන්නෙත් මෙහෙ එවුන්නේ. සෙල්ලම් වැඩක්යැ. ඔය අතරෙ නිවන් දකින පින් ඇත්තොත් ඇතිනේ. මොකද අපි ඒ ගැන දන්න කියන එකක්යැ.
අපි මේ අහවල් අහවල් ජාතියට බණිනව අරුන් බෝ වෙනවා අපි වඳ වෙලා යනවා කියලා. ඒම ආඩාපාලි කියල වැඩක් නෑ මහත්තයො. අපේම වැරැදි හන්දනේ ඕම වෙලා තියෙන්නෙ.
දැන් මහත්තය ගණන් හදල බලන්න මෙහෙ මැරෙන අය ආපහු ඉපදෙන්න තියෙන ඉඩ කඩ කෝමද කියලා. මොකද වෙන රට වල වුන් අපේ රටේ ඉපදෙන්න එන්නෑ මෙලෝ සම්මෙකට. නැද්ද මං අහන්නෙ. අපේ රටේ දරු උපත් සංඛ්‍යාව ඉතිං අඩු වෙන එක ලියන්නත් දෙයක්යැ ඉතිං. ඔය මං කියපු කාරණා ගැන හොඳට හොයල බැලුව නම් උත්තරේ එතැන තියෙනවා.
ඒ වුනාට මාටින් උන්නැහේ අහවල් ජාතියෙ දරු උපත් වැඩිවෙලා කියලත් ඔහේ තැන තැන කතා වෙනවනේ. මම ඒ කතා බහ අතරමැද පණ්ඩිත උදැල්ල දැමීමි.
ආච්චිගෙ රෙද්ද මහත්තයො. ඔය කියන ජාතිය ඉන්නෙ කන්නෙ බොන්නෙ රෙන්නෙ මොකද්ද එක කරන්නෙත් මේ රටේ. මොකද උන්ට ප්‍රැටල් අඩු ගානට දෙනවයැ. ලයිට් බිල අඩුය. පාන් පරිප්පු හාල් සීනි පිටි අඩු ගානට උන්ට හම්බවෙනවායැ. ඒ වගේම අපේ එවුන්ට වදන්න කවුරුත් එපා කියල තියෙනවද ? තහනමක් තියේය. නෑනේ. නෑනේ.
මං කියන දේට මහත්තය විරුද්ධ වෙන්නත් පුළුවන් එකඟ වෙන්නත් පුළුවන්. බුදු හාමුදුරුවො දේශනා කරපු කාලාම සූත්තරේ මහත්තය දන්නවද?
ඒ සූත්තරේ මේම තියෙනවා
උඹලා අනුන් කිව්ව දේ ඇසීමෙන් පිළිගන්න ඕනෑ නැත. පරම්පරාවෙන් ආ නිසි පිළිගත යුතු නැත. අපේ පොත් පත් වල තියෙන ඒවා නිසා පිළිගන්ට ඕනෑ නැත. තර්කය මත නොපිළිගත යුතුය. නියායට ගැලපෙන හන්දා පිළිගන්නට ඕනෑ නැත. ඒ වගේ කාලාම සූත්‍රයේ බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා. අන්තිමට මේ ශ්‍රමණයා අපේ ගුරුවරයා යැයි කියන දේ නොපිළිගන්න කියලත් බුදු හාමුදුරුවො දේශනා කරා.
එහෙම නම් මහත්තය මාටින් සිල්වා කියපු දේවල් ගැනත් ඒ විදියට හිතන්න.
මගේ හිතේ හාංකාවිසියෙ තරහක් අමනාපයක් නෑ.ආරවුලක් නෑ.
මේ කියුම් කෙරුම් අවසානයේ උන්දෑට අප කළ සංග්‍රහ කිරීම් වලට ස්තුති කිරීම් නැත. පින් දීම් නැත. "එහෙනම් ඉතිං යන්නම්" කියා සමුගන්නා මාටින් සිල්වා නැවත එන දිනයක් ගැන කියන්නේද නැත. ඔහු යන්නේ කොහාටදැයි කවුරුත් නොදනී.
දක්ෂිණ ලියනාරච්චි ✍️



