මාධ්‍ය බයිටයන් 'වහ' වෙන ප්‍රවෘත්තියක්...

මේ වන විට සමාජ මාධ්‍යයේ අලුත්ම "නිවුස් බයිටය" වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු සිය බිරිඳට එරෙහිව 2005 අංක දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩකරණය පිළිබඳ පනතින් පවරා ඇති නඩුව ය.
මේ පනත පවතින විධානයන් බොහෝ දෙනා නොදන්නා නිසා ඇතමුන් ඒ නඩුව පිළිබඳව විවිධ තොරතුරු මාධ්‍ය වල පළ කරමින්ද, යූ ටියුබය ඔස්සේ සාකච්ඡා කරමින් ද සිටී. මෙහි උත්ප්‍රාසය වන්නේ තමන් මාධ්‍ය ඔස්තාර්ලා යැයි කියා ගන්නා කිහිප දෙනෙක්ද ඒ නඩුව ගැන තොරතුරු අනාවරණය කිරීමය.
මේ මාධ්‍ය ඔස්තාර්ලා 2005 අංක34 දරණ ගෘහ්ස්ථ ප්‍රචන්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත හා එහි අන්තර්ගත විධානයන් පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා බව ඉන් අනාවරණය වේ.
එහිදී ඔවුන්ට රස වැසී වැටී ඇත්තේ මේ නඩුව පවරා ඇත්තේ මෙරට ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු වීමයි. එම ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපය ද සහිතව ඇතමුන් මේ නඩුව පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් සිටී. මේ සෑම දෙනාම තමන් සිදු කරන වැරද්දේ බරපතළ කම නොදනී. එහෙත් නීතිය නොදන්නාකම සමාවට කාරණයක් නොවන බවද ඒ සියල්ලන් දැන ගත යුතුය.
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත යනුවෙන් හැඳින්වෙන මේ පනතේ 2 වන වගන්තිය (1) හි සඳහන් වන්නේ යම් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කරනු ලැබ ඇත්තේ, සිදු කිරීමට ඉඩ ඇත්තේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද (මෙහි මින් මතු පීඩාවට පත් තැනැත්තා යනුවෙන් හඳුන්වනු ලබන) ඒ තැනැත්තා විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාව වැලැක්වීම සඳහා ආරක්ෂා කිරීමේ ආඥාවක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් කරනු ලැබිය හැකි බවය.
එම (2)(1) උප වගන්තිය යටතේ වූ ඉල්ලීමක්
(අ) පීඩාවට පත් තැනැත්තකු විසින්
(ආ) පීඩාවට පත් තැනැත්තා ළමයකු වන අවස්ථාවක, ඒ ළමයා වෙනුවෙන්
(i) ඒ ළමයාගේ දෙමව්පියන් ගෙන් එක් අයකු විසින් හෝ ළමයාගේ භාරකරුවකු විසින්
(ii) ළමයා පදිංචි ස්ථානයේ පදිංචි තැනැත්තකු විසින්
(iii) 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත යටතේ පිහිටවනු ලැබූ ජාතික ළමා අධිකාරිය විසින් ලිඛිතව බලය පවරනු ලැබූ තැනැත්තකු විසින් හෝ
(ඇ) පීඩාවට පත් තැනැත්තකු වෙනුවෙන් පොලිස් නිළධාරියකු විසින් ඉදිරිපත් කරනු ලැබිය හැකිය.
ගෘහස්ථ ප්‍රචණ්ඩ කරණයෙන් පීඩාවට පත් වුණ අයට සමාජයෙන් වෙන බලපෑම හා අපකීර්තිය වලක්වා ගැනීම පිනිසත්
ඔවුන්ගේ පුද්ගලික තොරතුරු එළියට නොඒම මගින් ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරනු පිණිසත් මේ පනතේ 20 වගන්තිය ක්‍රියාත්මක වේ. එම 20 වගන්තියේ (අ) මේ පනත යටතේ වූ ඉල්ලීමක ඉල්ලුම්කරුගේ හෝ වග උත්තරකරුගේ අනන්‍යතාව දැනගත හැකි පරිදි එම ඉල්ලුම්කරුගේ හෝ වග උත්තරකරුගේ නම හෝ වෙනත් කාරණයක් (ආ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ නඩු තීන්දුවක් හැර මේ පනත යටතේ යම් අධිකරණයක පවතින නීති කෘත්‍යයකට අදාලව යම් කාරණයක් මුද්‍රණය කරන හෝ ප්‍රකාශයට පත් කරන යම් තැනැත්තෙකුට අවුරුදු දෙකක් දක්වා වූ කාලසීමාවක් සඳහා දෙයාකාරයකින් බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ දඬුවම් කරනු ලැබිය යුතුය.
මීට ඉහත කාලයකදී මෙම පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරන ලදැයි චෝදනාවකට මෙරට පුවත්පතකට දඬුවම් කරන ලද බව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රකට නීතිඥවරයකු වන ලක්ෂාන් ඩයස් ඔහුගේ මුහුණු පොත් ගිණුමේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා විසින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇති ඇතමකු මේ නඩුව යොදා ගනිමින් අදාල ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා ගේ රාජකාරි පෞරෂයට හානි කිරීමටද ක්‍රියා කර ඇති බව පෙනී යයි.
කෙසේ වෙතත් මෙම පොලිස් ඡ්‍යෙෂ්ඨයා ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සිය ගෞරවය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීමක් කළ හොත් අදාල තොරතුරු වාර්තා කළ පිරිසට හොඳ "පුඩියක්" කෑමට හැකි වෙන බව නම් නිසැකය.
අපට ලිවීමට ඇත්තේ එපමණය.
දක්ෂිණ ලියනාරච්චි ✍️



