රාජපක්ෂ පුත්‍රයන්ට එරෙහිව තවත් චෝදනාවක්

අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් අක්කර 135 ක් විශාල තේ වත්තක් නීති විරෝධීව
අත්පත් කර බවට චෝදනා කරමින්
යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
දොලොස්භාගය ප්‍රදේශයේ පිහිටි ඔසා
ප්ලාන්ටේෂන් සමාගමට අයත් කෙලී ගෲප් තේ වත්තේ අක්කර 135 ක බිම් ප්‍රමාණයක් හා 1918 වර්ෂයේ ඉඳි කරන ලද පැරණි විශාල බංගලාවක් මේ දේපොලට අයත් බව පැවසේ.
පසුගිය කාලයේ වෙඩි තබා ඝාතනය කරන ලද අරුණ විතානගේ නොහොත් කජ්ජා හා නෙවිල් වන්නිආරච්චි මැදිහත් වීමෙන් මෙම දේපොල මිලයට ගෙන ඇති බවටද අනාවරණය වී තිබේ. අදාළ ඉඩමට සම්බන්ධ ලියාපදිංචි අංක 1386 දරණ ඔප්පුව හා අංක 787 දරණ පිඹුර ඇතුළු ඒ ගණුදෙනුවට අදාල සියළු ලේඛන තමන් සන්තකයේ තිබෙන බවද අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසයි.
මෙවැනි විශාල දේපලක් මිළයට ගැනීමට තරමේ වත්කමක් චුදිත පාර්ශවයට තිබෙන්නට ඉඩ හැකියාව නැති බවට සැක කරන එම සංවිධානය, අල්ලස් හෝ දූෂණ කොමිෂමෙන් ඉල්ලා ඇත්තේ එම දේපල මිලදී ගැනීම සදහා ඔවුන් වැය කරන ලද අති විශාල මුදල අයථා ලෙස උපයාගත් වත්කම්ද යන්න පිළිබඳව සොයා බලා නෛතික පියවර ගන්නා ලෙසටය.



